ලොකු ලූනු මිලදී ගැනීමේ රජයේ කොන්දේසි….

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.

ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි.

විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ.

ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි.

එමෙන්ම  මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ.

කෙසේ වෙතත්,  රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි.

සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ, සතොසට මිලදී ගනු ලබන්නේ යළි අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවය.

මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙලීම ආරම්භ කළේය.

කෙසේ වෙතත් නිසි මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටය.

ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇත.

මෙවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර තිබේ.

ඒ් අනුව ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.

අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් පැවසුවේ, මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවය.

අද පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර තිබුණේ නැත.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි……

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා අද (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි.

ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණි.

වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්….

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සඳහන් කර තිබේ.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට…..

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර…..

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට….

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති.

මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 65ක් වූ දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කපුගොල්ලෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට….

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ.

මීට අමතරව පසුගිය සිකුරාදා සහ  සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය.

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට  ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගැනුණි.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව  සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබීය.

මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10 ක්, එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වේ.

හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට….

රුපියල් මිලියන 84.96ක් වටිනා හෙරොයින් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව අද (26) අලුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර තිබුණි.

එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට යොමුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙහිදී සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරින් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රිසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp)- 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 233 7162 / 071 859 2087

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.