ජනපති 11 වැනිදා ජර්මනියේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද පැවසෙනවා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

news images

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා CID යට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (08) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

නිදහස් කළ බහාලුම් 323 තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ – රේගුව

බහාලුම් 323 ක්  නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ  මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණයක් සිදු කළා.

ඒ අනුව අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

ආනයනය කරපු මේ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව එහි අඩංගුව තිබූ බවත් ඒවා ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආනයනය කර තිබූ බවයි ඔහු සඳහන් කළේ.

බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හේතුවෙන් මෙම බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් බවට විශ්වාස කරන බවත් ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර අදාළ බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන් කෙරේ

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8.00 ට අවසන් කර තිබෙනවා.

උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් පසුගිය 5 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.

ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් කළ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයද සිය වර්ජනය අද උදෑසන අවසන් කර තිබෙනවා.

පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් වසා තැබෙයි

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොසොන් සතිය ඊයේ (07) සිට ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

පොසොන් පොහොය වෙනුවෙන් ලියාපදිංචි දන්සැල් 4,125ක්

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසා සිටියේ.

මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

පසුගිය 05 වැනිදා මොරටුව මෝදර ප්‍රදේශයේදී දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් ‘සාගරිකා’ දුම්රිය එම ස්ථානයේ නතර කළ අතර, දුම්රිය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.

ඒ සමග මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳව ගැටලුවක් මතු වූයේ, එසේ තිබියදීත් බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අඟවන කොළ පැහැති ආලෝකය සංඥා දිස්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණු බැවිනි.

කෙසේ වෙතත්, දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය  අනතුරක් වලක්වා ගැනීමට හැකිවුණා.

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබුණු වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.

එම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි එහි ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේ.

වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළද, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පවසා සිටියේ.

හජ් උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව,  මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල් හිජ්ජා’ මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන අතර, අල්ලා දෙවියන් විසින් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සමරනු ලබන බවයි පැවසෙන්නේ.

මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙන අතර, සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

හජ් උත්සවය වෙනුවෙන් අද කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම  උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිත බවයි දැක්වෙන්නේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා.