සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර ඇති බව පොලීසිය පවසනවා.

තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසැල්, රථවාහන මෙන්ම බැංකු ගිණුම් ද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසකට අයත් දේපළ ද මෙලෙස තහනම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වත්කම් ලැයිස්තුව පහතින්.

news images

news images

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණු අතර, එහිදී මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්නගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුුුණා.

ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව, මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුගෙන් ද සාක්ෂි  සටහන් කර ගැනීම සිදුවුුුණා.

ඉන් පසු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට පාදක වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කීපයක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ ලිපිගොනු මුද්‍රා තැබූ කවරයක බහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියම කළ අතර, ඉන් අනතුරුව  වැඩිදුර නඩු විභාගය ජූලි 01 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර තිබෙනවා.

Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා දැනුම්දීමක්

මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ.

නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසයි  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටිනනේ.

මෙරටට පැමිණ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් අද දිනය තුළ අදාළ විස්තර 071 – 844 73 05, 071 – 683 35 13 හෝ 071-974 2095 යන දුරකථන අංක වෙත WhatsApp මාර්ගයෙන් යොමුකරන ලෙස දැනුම් දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ජනපති දිවයිනට පැමිණෙයි

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ජර්මානු ජනාධිපතිවරයාගේ ආරධනයක් අනුව පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවී තිබුණා.

කළුබෝවිලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

බෝම්බ බියක් නිසා Air India යානයක් ආපසු හරවයි

අද (13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු තායිලන්තයේ ෆුකෙට් සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් යානයක් (AI379) ආපසු ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ගුවන් යානයට ඇති බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 09:30ට ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කර තිබෙනවා.

ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී ඇති අතර, එය උදෑසන 11:38ට ආරක්ෂිතව ගොඩ බස්වා තිබෙනවා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත්, නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය ගුවන් අනතුර : ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 242 ක් සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ඊයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා.

<span style=’color:#e64d4d’><strong>නවතම තත්ත්වය පහතින් : 3.00 PM</strong></span>

* ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (13) උදෑසන අහමදාබාද් හි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර තිබෙනවා.

* අනතුර සිදුවූ ස්ථානය නැරඹීමෙන් පසු, අග්‍රමාත්‍යවරයා රෝහල වෙත ගොස්, එහි තුවාල ලැබූවන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ අතර, අනතුරෙන් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් ද හමුවී තිබෙනවා.

* අනතුරින් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, තමන් නිරුපද්‍රිතව එළියට පැමිණියේ කෙසේදැයි තමන් නොදන්නා බවත්, අනතුර සිදුවන අවස්ථාවේ තමන් මිය යනු ඇති බවට සිතුනු බවත්, පසුව තමන් දෑස් විවරකර බලන විට තමන් ජීවතුන් අතර සිටි අතර, තමන්ගේ ආසන පටිය ඉවත් කර ඉවතට පැමිණි බවයි.

* ගුවන් අනතුරෙන් මියගිය මගීන් 241කගේ මළ සිරුරු මේ වන විට අහමදාබාද් හි රෝහලේ තැන්පත් කර ඇති අතර, ඇතැම් මළ සිරුරු මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

* අනතුර සිදුවූ ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

* ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්දියා සමාගම සඳහන් කළා.

* යානය පැදවූ ප්‍රධාන නියමුවා වන කපිතාන් සුමීත් සබර්වාල් පැය 8200 ක පියාසර අත්දැකීම් ඇති නිලධාරියෙක් බවත්, මාස කීපයකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බවයි සඳහන් වෙන්නේ.

news images