Twitter Killer එල්ලා මරා දමයි

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර, එවකට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු වයස අවුරුදු 15 – 26 අතර තරුණ පුද්ගලයින් 09 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.

Takahiro Shiraishi විසින් මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර, මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත්, තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙන ආ මත් කරල් තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ මත් කරල් තොගයක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කන්දකුලිය, තුඩාව වෙරළට යාබද ස්ථානයක තිබී එම මත් කරල් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් මත් කරල් ලක්ෂ තුනකට අධික මෙම තොගය මෙරටට රැගෙනවිත්, පොලිතින් මළු 04ක අසුරා, අදාළ ස්ථානයේ සගවා පලා ගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන “Clean Sri Lanka දිනය” ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන බවත්, මීට සමගාමීව මෙරට පාසල් 10,096 ආවරණය වන පරිදි චිත්‍ර හා පෝස්ටර් ප්‍රදර්ශන, දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම්ද සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

තුෂාර උපුල්දෙණිය ජූලි 09 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජූලි 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබෙනවා.

සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම අගෝස්තු 04 කැඳවීමට නියෝග

සූර්ය විදුලිබල උත්පාදකයන් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක්, කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

සූර්ය විදුලිබල උත්පාදකයන්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

වහලවල් මත සවිකර තිබෙන සූර්යබල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම LECO සමාගම විසින් ගෙවනු ලබන ගාස්තු පසුගිය ජූලි 01 වැනිදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත්, විදුලිබල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවත්, එහෙත් මෙම අඩු කිරීම සඳහා එම කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙලෙස ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් ජූලි 23 කැඳවීමට නියෝග

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් එළඹෙන ජූලි මස 23 වැනිදා කැඳවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

නොච්චියාගම පී.ඩී.ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන්, කැබලි කරන ලද බඩඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන, ඊට අදාළ මුදල් නොගෙවා, රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක (52,900,000) මුදලක් වංචා කර, සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ විමර්ශනයන්හි ප්‍රගතිය දන්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම අදාළ නඩුව කැඳවීමට නියමිත ලබන ජූලි 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් හට යළිත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

බෝම්බ හෙළීම නවත්වන ලෙසද, ගුවන් නියමුවන් වහාම නැවත ගෙන්වා ගන්නා ලෙසද, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසද ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා එම සටහන පළ කර තිබෙනවා.

බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ

බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා.

එම සමුළුව ජූනි 25 වැනිදා සහ ජූනි 27 සිට ජූලි 05 වැනිදා දක්වා දිනවලදී, බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඉහත දිනවල උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණී වටරවුමෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල් හා වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින්, ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළු වී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබන බවත්, බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල්වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ‍.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදුවුණා.

එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් විසින් නැවත අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ප්‍රයත්නයන් සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට පැහැදිලි කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපල පනත ප්‍රකාරව සිදු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.