පාස්කු ප්‍රහාර නඩුව කල්යයි……

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම විය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණි.

මෙම නඩුවට අදාළව නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24කට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ ලේඛන කැඳවීමට නියෝගයක්

සිර දඬුවම් ලබාසිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්  බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර  එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදිය.

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහිදි කොළඹ මහාධිකරණය  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

COPA සභාපති ඉල්ලා අස්වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය.

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්….

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බවය.

එමෙන්ම එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කල හොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට නියමිත

කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි  පොලීසිය අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුනි.

එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ වන විට
විදේශගතව සිටින පතාල කල්ලි සාමාජිකයකු බව කියන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිට මේ වනවිට විදේශගතවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්වී මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

අදාළ තර්ජනාත්මක ඇමතුම අගෝස්තු මස 03 වනදා රාත්‍රි 8:33 ලැබී ඇති බව සඳහන් කළ පොලිසිය ඒ තුළින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබෙන බවත් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් හෝටලයක මත්ද්‍රව්‍ය ග්‍රැම් 440යි මිලිග්‍රෑම් 845ක් හා ජීවඋණ්ඩ 9ක් සන්තකයේ තබාගෙන සිටියදී දිසානායක නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබෙන බවත් සඳහන් කර සිටියේය.

මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.

CID නිලධාරියෙක්ට හරක් කටාගෙන් මරණ තර්ජන…..

හරක් කටා තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඊයේ (04) හරක් කටා උදෑසන 8ට පමණ ස්නානය කිරීම සඳහා සිර කුටියනේ පිටතට පැමිණි අවස්ථාවේදී එම නිලධාරියා සැකකරුගේ කුටිය පරීක්ෂා කර ඇති බව වෙයි.

පසුව එහි පැමිණි හරක් කටා සිය කුටියේ තිබූ පෑනක් නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව ද පවසමින් එම පොලිස් නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

හරක් කටා ඔහුට තර්ජනය කරමින්  “උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්” යනුවෙන් පැවසූ බවද අදාළ පැමිණිල්ලේ සඳහන්ය.

මේ අතර නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේදී අද (05) කැඳවනු ලැබීය.

හරක් කටා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුන් වන රවිඳු සන්ධීප හා සංජීව අබේසිංහ මෙන්ම රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ දිනේෂ් තරංග යන විත්තිකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ මහාධිකරණ සංකීර්ණය තුළ හා අවට දැඩි ආරක්ෂාවක් ද අද යොදවා තිබුණි.

ආරක්ෂක අංශ සඳහන් කළේ, හරක් කටාට අද ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබූ බවය.

පොලිස් නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගත් අයෙක් එලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට එම තොරතුරේ සඳහන්ව තිබූ බව පවසයි.

ඒ අනුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් අධිකරණ භූමියේ ආරක්ෂාවට යොදා තිබූ අයුරුයි දැකගන්නනට ලැබුණි.

රේගුවේ රඳවා ඇති BYD ගැන පෙත්සම 7 වනදා කැඳවයි…..

ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් මෝටර් රථ මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළාය.

අදාළ වාහන බැංකු බැඳුම්කරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුනි.

මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළේය.

එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝවොට් 100 ද? කිලෝවොට් 150 ද? යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.

එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරුණි.

ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ෆොඩයිස් වතුයායේ කොටි කලබලයක්…

පසුගිය 2025.08.03 අලුයම හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු නිවාසයකට පැමිණ බල්ලෙක් රැගෙන යයි එම සිදුවීම එම වතුයා  නිවසක තිබූ සීසී ටීවී  කැමරාවක සටහන් වී තිබීමෙබ් වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටි,

දිනපතා රාත්‍රී කාලයේ තම නිවාස අසලා පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම සිදුවීමට අද දින 2025.08.05 උදෑසන  නල්ලතන්නිය වනජීවී කාර්යාලය අඩවි බර  නිලධාරි   R. M. T. B. රත්නායක මතා සහ පිරිස   නිරීක්ෂණය කිරීම සහ වතුකම්කරුවන් කොටින්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව   දැනුවත් කිරීම සඳහා  පැමිණියා ,

අද දින එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී  අද දිනත් කුටියෙන් පැමිණි බවට ශාක්සි ලෙස කොටින්ගේ අඩි සලකුණු  එම ප්‍රදේශයේ පුරා දක්නට ලැබුණා.  වනජීවී නිලධාරින් වතුකම්කරුවන්ට පවසා සිටියේ  දර කැඩීමට යාමේදී සහ  තේදලු නිළීමට යාමේදී  සුනඛයෙන් රැගෙන  යාමෙන් වළකින ලෙසට .

වන ජීවී නිලධාරින් වැඩිදුරටත් පවසා සිටියේ  කොටින් ගම් වැදීම  වැළැක්වීම සඳහා  ක්‍රියාත්මාර්ග සහ  කොටින් පිළිබඳ එම වතුයායේ සියළුම වතු  ආවරණය වන පරිදි  දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී පවත්වන බවයි.

නුවරඑළිය ආර්.එෆ්.එම්.සුහෙල්

කහවත්ත ඝාතන සිද්ධියේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාම හඳුනා ගනියි…..

කහවත්ත පලන්සූරියගම ප්‍රදේශයේදී පසුගියදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනෙකු අද (05) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් මෙහිදී හඳුනාගනු ලැබීය.

පසුගිය ජුනි මස 30 වැනිදා කහවත්ත, පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි සුරංජන නම් 22 හැවිරිදි තරුණයෙකු පොලීසියෙන් බව පවසා පිරිසක් විසින් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේ මාර්ගයක් අසල වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එකී සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකය විසින් සිදු කරන ලද විමර්ශනයේදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය භාර විය.

ඒ අනුව අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට පොලීසියට භාර වූ සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළ අතර එහිදී ඝාතනයට ලක්වූ පවුලේ ඥාතීන් විසින් එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබීය.

හත්වෙනි සහ අටවෙනි විත්තිකරුවන් එලෙස හඳුනාගෙන ඇති අතර නමවැනි විත්තිකරු ඉදිරි දිනයක හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 08 දෙනා එළැඹෙන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සහ අධිකරණ භූමිය තුළ දැඩි ආරක්ෂාවක් යෙදවීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක CID යෙන් පිටව යයි….

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (05) උදෑසන 9.30ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.