සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්….

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් එම නිවේදනය නිතුක් කර ඇත.

2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට චෝදනා භාරදෙයි…

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (01) සංශෝධිත අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි.

සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

එම විත්තිකරුට අදාළ චෝදනා භාරදීම සඳහා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 29 වනදා කැඳවන ලෙසත් විසුරුවරයා නියම කළේය.

අණ නොතැකූ වෑන් රථයට පොලීසියෙන් වෙඩි…..

නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි.

පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ.

අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පැවසීය.

එහි රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙකු බවත් සෙසු පිරිස රත්නපුරේ පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතයොමු කර ඇති අතර, සැකකරුවන්ව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෑන් රථය නතර කිරීමෙන් අනතුරුව එහි රියදුරුව පොලිස් නිලධාරීන් විසින් මහ පාරේ දණ ගස්වා සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී තිබේ.

වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් ගොඩගනී…..

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ.

තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත.

මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

උරුමය ඔප්පු දෙන බව පවසා රු කෝටි 10කට ආසන්න මුදලක් වංචා කරලා….

‘උරුමය’ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බව සඳහන්ය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකාරිය විසින් කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට “උරුමය” වැඩසටහන යටතේ ඔප්පු නොමති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබදෙන බව පවසා තමා නීතීඥවරියක් බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 50 දෙනෙකු සිරිකොත පක්ෂ මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු සාකච්ඡා කර රැවටීමට ලක්කරමින්  ඔප්පු ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කර තිබේ.

අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි….

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’  දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි

අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු  2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කිර ඇත.

මීට අමතරව 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපී වී සිටිනවා -ජනපති….

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවය.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පවසයි.

යුතුකම් සහ වගකීම් නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටින බවඳ එම පණිවුඩයේ සඳහන්ය.

සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටින බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර, එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙන අතර, ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බව ද ජනාධිපතිවරයා පවසයි.

එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන අතර, ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක්විය යුතු බව ද ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි….

අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

කෙසේ වෙතත් පෙට්‍රල්  ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

ඒක අත්වැරදීමක් – ඇමති හඳුන්නෙත්ති….

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදි නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවය.

කෙසේ නමුත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේදි තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්,

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වෙමි.”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේට ඇප….

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව බන්ධනාගාරගත කර තිබුණි.