හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට යළි CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්……

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

එළැඹෙන 06 වනදා පක්ෂ සම්මේලනයද පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ඇති බව වාර්තා වෙයි.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 26 වනදා ඇපමත මුදා හැරියේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මත මුදාහරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

එදිනම ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඊට පසුදින වෛද්‍ය නිර්දේශ මත හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29)  රෝහලෙන් පිටව ගියේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා රක්ෂිත බන්ධනාගාරයට….

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහතා අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි….

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පැවසුවේ රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය බවය.

නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්……

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

අතුරලියේ රතන හිමි රිමාන්ඩ්…..

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට…..

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි නායකයින්ට ඇති චෝදනා…..

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ  ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

එහිදී කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.

පොලීසිය පැවසුවේ, ඔවුන් සමග සිටි බැකෝ සමන්ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තුන් හැවිරිදි දරුවා පොලිස් භාරයට ගත්බවය.

අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පසුගිය පෙබරවාරි 19 වනිදා පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේටයි.

එහිදී වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවයට.

ඊට අමතරව කෙහෙල්බද්ද පද්මේ ඇතුළු මෙම පිරිසට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

එවන් පසුබිමක පසුගිය සමයේ කෙහෙල්බද්දර පද්මේට සමීප පාතාල කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.

ඒ අනුව අගෝස්තු 03 වනිදා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බව කියන ‘පස් දේවා’ අත්අඩංගුවට ගනු ලැබුවේ, කටුනායක ගුවන් තොටුපොළේදීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අගෝස්තු 06 වනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් බැකෝ සමන් හා තැඹිලි ළහිරු නැමැති අපරාධකරුවන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, පසුගිය පෙබරවාරි 18 වනදා අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනාගේ ඝාතනය මෙහෙයවීමය.

පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට

පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවෙසක සිටි අයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩ් තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පලායන්නට ඇති බව සැක කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.