බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….

අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2012 වසරේ ජනවාරි මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපොළ අයථ ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

හිටපු කථානායක අශෝක රන්වලට ඇප…..

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ.මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බවය. ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.

හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ.

ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා  ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට අමෙරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්,  එහිදී  සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට අමෙරිකානු රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි….

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවය.

අදාළ කාලසීමාව තුළ කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසය.

ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67(3)  වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන්වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කළහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ මෙම නඩුව යළි ගොනුකරනු ලැබීය.

යෝෂිතගේ නඩුව කල්යයි…..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

නඩුව අද දින කැදවනු ලැබුවේ යෝජිත පිළිගැනීම් පිළිබඳව සලකා බැලීමටයි.

එහෙත් රජයේ  නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාගවන බවය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවා දැයි නිගමනය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කියා සිටියේය.

එම අධිකරණ නියෝගය පරිදි විත්තිකාරියගේ අදාළ පරීක්ෂණය සඳහා හෙට දින පෙනී සිටීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

අදාළ පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් වූ පසු විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමේ සුදුසු මානසිත තත්ත්වයකන් පසුවන වාද? යන කාරණය පිළිබඳව පැමිණිල්ල සලකා බලන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි පෙබරවාරි මස 9 කැඳවන ලෙස නියෝග කෙරුණි.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක්  බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීම සඳහා ගංවතුරෙන් යටවූ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට දෙනු ලබන ආධාර මුදල රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි  මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව  මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පේරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙම ආධාර මුදල් ලබාදීම  සඳහා රුපියල් බිලියන 7.5ක මුදලක් වෙන්කර ඇති බවද එම මුදල වෙන්කරනු ලැබුවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන 30ක මුදලෙන් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යන මූල්‍ය කළමනාකරණයේ  සාර්ථකත්වයත්, දූෂණය පිටුදකිමින් ගෙන යන වැඩපිළිවෙළත්  නිසා  මෙම වැඩිපිළිවෙළ වඩාත් සාර්ථකව සිදුකළ හැකිව ඇති බවද මුදල් ආමත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙලෙස ප්‍රතිපාදන ලබාදීමට සමගාමීව එමගින් පුරවැසියන්ගේ  ජනජීවිතය යථාවත් කර ගැනීම කඩිනම් වනු ඇතැයි  ලේකම්වරයා බලාපොරාත්තු පළ කළේය.

ඒ සඳහා වන යාන්ත්‍රණය දැනටමත් සකසා ඇති බවද ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී සම්බන්ධීකරණය කරගනිමින්  විපතට පත්ව සිටින සාමාන්‍ය ජනතාවටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙම  මුදල් ප්‍රතිපාදන ලබාගත හැකි බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තවදුරටත් යම් සහනයක් අවශ්‍ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන නිර්දේශයන්ට අනුව ප්‍රතිපාදන නිකුත් කිරීමට සුදානම් බවද ලේකම්වරයා පැවසුවේය.

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

 

ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා  www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර  www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

විදේශීය පරිත්‍යාගශීලීන්ට  ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.

 

ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (
DMC),
විද්‍යා මාවත, කොළඹ 07

 

 

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

 

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  හෝ  +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරයි.

දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු – ජනපති….

ආපදාවෙන් පසු යළි ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු යැයි ජනාපතිවරයා එහිදී රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

ආපදාවෙන් විනාශ වූ වගා සඳහා කඩිනමින් වන්දි ලබා දීමටත්, නැවත වගාවට අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීමටත් ජනපතිගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

එමෙන්ම අඩු ආපදාවන්ට මුහුණ දුන් ස්ථානවල කාර්ය මණ්ඩල සහ උපකරණ දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන්න ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම නැවත ගොඩනැගීමේදී පෞද්ගලික අංශයෙන් විශාල සහායක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.