සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්….

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන  පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01  සිට 08 වැනිදා අළුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම යෝග්‍ය බවය.

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි….

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස ඊයේ (18) එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත පිරිසක් එලෙස එකම කෝවිලකදී, හින්දු චාරිත්‍රානුකූලව විවාහ පත්වී තිබේ.

සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණි.

“මගේ දියණියගේ විවාහ මංගල්ලයේ දී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ. විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව. සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්‍යයක් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් දුක්වෙනවා. ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල් වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා.” යනුවෙන් ව්‍යාපාරික තුරෙයි මහතා සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්…

මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බව ගුවන් හමුදාව සඳහන් කරයි.

එලෙසම ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන එක් හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණක් බව අදාළ නිවේදනයේ වැඩිදුර සඳහන්ය.

iPhone 17 Pro Max සැප්තැම්බර් මුල වෙළෙඳපොළට?

ඇපල් සමාගම විසින්  iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෙවුණු වසරේ iPhone 16 දුරකථන මාලාව නිකුත් කිරීමෙන් පසුව, මෙම iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17 මාලාව ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි.

මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නොමැත.

මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ව්‍යාජ ලබුබු බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක්….

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවය.

ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් සඳහා වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

මහජන දැනුවත්භාවය වර්ධනය වන විට මෙම අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ බෝනික්කන් සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි වන බවත්, ඒ සඳහා  නිවැරදි QR කේත නොමැති බවත් නිලධාරීන් සොයාගෙන ඇත.

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගත් මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් 50,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවය.

මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද රැකියා දැන්වීම් ප්‍රචාරණය සිදුවන බව සදහන්.

පසුගිය සති කිහිපය තුළ දී මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ද අදාළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එමනිසා තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

මාරාන්තික මී උණ දරුවන් අතර වැඩි වීමක්…..

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමුන් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවය.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.

මෙම මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

තවද මෙම රෝග තත්ත්වය වකුගඩු රෝග ආසාදනය සිදුවීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්….

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය.

මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමි පුද්ගලයින් අතරේ ගත් විට දෙවැනි වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා,

“දැනට ලංකාවේ පිළිකා රෝගීන් ගත්තාම පිරිමි පුද්ගලයින්ගේ දෙවැනියට වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව.  ඒ වගේම 2021 වසරේ සිට දත්ත සලකළා ගත්තාම ඔවුන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පෙනහළු පිළිකාව වාර්තා වෙනවා. පසුගිය දත්ත ගත්තාම කාන්තාවන්ගේ සහ එහි පෙහළු පිළිකා වර්ධනයක් අපි දකිනවා. පසුගිය අවුරුදු 5-10 අතර කාලය තුළ පෙනහළු පිළිකාව ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ධනය පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් දෙපාර්ශ්වයේම වාර්තා වෙනවා. 

මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් අපිට වාතාශයේ තියෙන වායු දුෂණය කියන කාරණා සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.

වසරකට වාර්තා වෙන පෙනහළු පිළිකා රෝගීන්ගේ ගණන  2021 වසරේ ඉඳන් දත්ත සලකලා ගත්තාම වසරකට නව පිළිකා රෝගීන් 2,000- 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා.”

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා මහතා පැවසුවේ මෙම රෝගයේ රෝග ලක්ෂණ සුළු කොට තැකිය නොහැකි බවය.

“කොහෙමද ළය පිළිකාවක් මහජනතාව දැනගන්නේ.. ඉතාම වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඕනම ශ්වසන රෝගියෙකුගේ දකින කැස්ස. විශේෂයෙන්ම කැස්ස කාලාන්තරයක් තිස්සේ යනවානම්, සති දෙකතුනකට වඩා යනවානම් නැත්නම් වරින්වර එනවානම් ඒක ඉතා වැදගත් රෝග ලක්ෂණයක්.  ඒක අපි සුළුකොට තැකිය යුතු නැහැ. ඊට අමතරව කැස්සක් හොඳ වෙලා ආයෙම ඊළඟ මාසෙත් එනවානම් ශ්වසන රෝග කිහිපයකම රෝග ලක්ෂණයක් විය හැකියි ඒක. 

අනෙක් කාරණය කැස්සක් සමග ඔවුන්ට ලේ පිටවෙනවා නම්, සමහර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය නොයෙකුත් ළය පිළිකා සංකූලතා නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පපුවේ වේදනාව ළය පිළිකාව තියෙන ප්‍රදේශයේ සිට ස්ථානවලට පැතිරෙන්න පටන් ගත්තාම නොයෙකුත් ස්ථානවල වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් රෝගීන්ට කාලාන්තරයක් තිස්සේ පවතින උණ ගතිය, කෑම අරුචිය, අසාමාන්‍ය ලෙස බර අඩුවීම මෙම රෝගයේ ලක්ෂණ විය හැකියි.

ඒ වගේම ශරීරයේ නොයෙකුත් ස්ථාන වෙත පැතිරෙන්න පුළුවන්. ඒ පැතිර ගිහින් තැන්පත් වෙන ස්ථානය අනුව ඒ ඇතිවන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඉතිං ඉතා වැදගත් අපි මේ ළය පිළිකා ගැන දැනුවත් වීම.”

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට…..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය.

ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම්  සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ.

2021  වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.

පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා  නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය  ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.

දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

ඉන් අනතුරුව,  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් ඒ් සම්බන්ධයෙන්  මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි.

මෙරට වාණිජ ප්‍රවාහනය පරිවර්තනයට ලක් කිරීමට, සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC), ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන ATUL ඔටෝ ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්, ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයකට ගෙන ඒමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, නවීනතම ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත.

වසර 60කට වැඩි අත්දැකීම් ඇති, රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ATUL Auto සන්නාමය, විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා, ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රිරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලයි. මෙම හවුල්කාරිත්වය හරහා, සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රධාන ත්‍රිරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත: එනම්, පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන, ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන Atul RIK; ඩීසල් මගින් ක්‍රියාත්මක වන, වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන Atul GEM Paxx; සහ භාණ්ඩ බෙදාහැරීම්, කෘෂිකාර්මික සහ සැපයුම් කළමනාකරණ (logistics) යෙදවුම් සඳහා නිපදවා ඇති, ශක්තිමත්, අධික බර රැගෙන යා හැකි Atul GEM Cargo මාදිලියයි.

මෙම සහයෝගීතාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වන මොහොතකය. විශේෂයෙන්ම, වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ අවසාන සැතපුම් සම්බන්ධතාවය (last-mile connectivity) වෙනුවෙන්, මිල දැරිය හැකි, විශ්වාසනීය සහ ඉන්ධන කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සඳහා වූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින යටිතල පහසුකම් අභියෝග හමුවේ, අඩු නඩත්තු පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත වාහන සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවය වර්ධනය වී ඇත. සරල යාන්ත්‍රික පද්ධති, වායු සිසිලන එන්ජින් සහ අධි බලැති චැසියක් සහිත ATUL වාහන පෙළ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද විශ්වාසනීය කාර්ය සාධනයක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ATUL ඔටෝ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍ර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ATUL වාහන හඳුන්වා දීම සඳහා සොෆ්ට්ලොජික් වැනි ගෞරවනීය හා ඉදිරිගාමී ව්‍යාපාරික සමූහයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස, අපි ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල්, ඩීසල්, LPG සහ විදුලි මාදිලි පිරිනමන්නෙමු. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්, ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අපගේ මෙහෙවරයි.” යනුවෙන් පැවසීය.

පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කිරීම පිණිස, ATUL දැනටමත් සිය තාක්ෂණික විශේෂඥයින් කොළඹට යොදවා ඇති අතර, වාහන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර කොටස් වල ස්ථාවර සැපයුමක් ද ස්ථාපිත කර ඇත. “ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ආරම්භයේ සිටම ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමට ද අපි කැපවී සිටිමු,” යනුවෙන් චන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

සොෆ්ට්ලොජික් හි මෝටර් රථ අංශයේ (Automotive Sector) ප්‍රධාන විධායක නිලධාරී, බිෂ්රි ෆාරුක් මහතා අවධාරණය කළේ, “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව්‍ය සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමේ අපගේ උපායමාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. ATUL රථ පෙළ, ප්‍රායෝගිකත්වය සහ විශ්වසනීයත්වය මනාව සමතුලිත කරමින්, මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ දෙකම සඳහා අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දෙයි.” යනුවෙනි.

ATUL හි එකම බලයලත් බෙදාහරින්නා වන සොෆ්ට්ලොජික්, ශ්‍රී ලංකාව තුළ ATUL හි ව්‍යාප්තිය මෙහෙයවීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා, ක්ෂණික වාහන ලබා ගැනීමේ හැකියාව සහ පූර්ණ සේවා යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිත කර ඇත. සොෆ්ට්ලොජික්-ATUL හවුල්කාරිත්වය, ඩීසල් මගී සහ භාණ්ඩ අංශවල ප්‍රමුඛයා වීමේ උසස් සැලසුම් සමඟින්, සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි, ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, මෙය දිවයිනේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද අතිශය වැදගත් දායකත්වයක් සපයනු ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගතික සහ ප්‍රගතිශීලී විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරවලින් එකක් වන අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක කටයුතු යන ප්‍රධාන අංශ හයෙහිම වෙළඳපල ප්‍රමුඛත්වය දරයි. ශ්‍රී ලංකාව, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව පුරා සේවකයින් 11,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින් ක්‍රියාත්මක වන මෙම සමූහය, උපායමාර්ගික ආයෝජන සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වයන් හරහා දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව වෙනුවෙන් පුළුල් ලෙස පිළිගැනේ.

 

IMG-20250801-WA0004 IMG-20250801-WA0005 IMG-20250801-WA0006 IMG-20250801-WA0007 IMG-20250801-WA0008 IMG-20250801-WA0009