පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍යට වැඩිපුර නැඹුරුවන්නේ බස්නාහිර පළාතෙන් බවට අනාවරණයක්…

මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.

මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බව හඳුනා ගෙන ඇත.

මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද බලපාන බවට හඳුනාගෙන තිබේ.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව, පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, තාරුණ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවරණය අධ්‍යාපනය හා පුහුණුව, පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, පාරිසරික පාදක මත්ද්‍රව්‍ය අධ්‍යාපන පුහුණුව හෙවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණුව යන ධාරා ඔස්සේ ඒවා ක්‍රියාත්මක වේ.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවු පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ක්‍රියා කරන අතර ඒ සඳහා වූ පාසල් උපදේශක ගුරුවරු පුහුණු කර ඇත්තේ අනාවරණ පරික්ෂණයකින් අනතුරුව පියවර තුනක් ඔස්සේ ක්‍රියා කිරීමටය.

ඒ අනුව, අඩු අවදානමක් සහිත සිසුන් සඳහා උපදේශන හා මැදිහත්වීම් සිදු කිරීම පළමු පියවර ඔස්සේ සිදු කරනු ලැබේ.

දෙවන පියවර ඔස්සේ මැදි අවදානමක් සහිත සිසුන් හඳුනා ගැනීම සහ ඉහළ අවදානමක් සහිත සිසුන් හඳුනාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමු කිරීම සිදු කර‍යි.

අවසන් පියවර ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ක්‍රියාවලියට ලක්කර නැවත පාසල් අධ්‍යාපනයට හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තිය අධ්‍යාපනයට යොමුකරවීමට මාර්ගය සැලසීම සිදුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවය.

ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම  වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර්ජාල රැවටීම් ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි….

2024 සහ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අපචාරවලට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී එම තත්ත්වය 50%කට ආසන්න ඉහළ යාමක් බව ඔවුන් පෙන්වා දේ.

2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු හා කාන්තාවන් 375ක් එලෙස සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇත.

කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දෙවසරක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්….

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය.

වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙම අදහස් පල කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට…..

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි.

ඒ අනුව, ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

ත්‍යාග ලබා දෙන බව පවසා සංසරණය වන පණිවුඩයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පණිවුඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවය.

එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

සමාජ මාධ්‍ය භාවිතය තරුණයින් තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන බව මනෝවෛද්‍යවරුන් කියයි…..

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි.

කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

”ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සමඟ එකතු වෙන්න පුලුවන්.. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුලුවන්.. ඔවුන්ට තරහා පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.. මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැලවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පතාල කල්ලිවල සමාජිකයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුලුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්තාපනය ලබා දෙන එක”

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගෙන් විද්‍යාලයට ත්‍රී රෝද රථ තිලිණයක්…

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සදහා රුපියල් මිලියන 1.5 වටිනා නවීන පන්නයේ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා (30) සිදුවිය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ Maroon Dudes 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම මගින් පැවැත්වූ මෙරූන්ස් ගෝල් ඔන් ෆයර් (Maroons Galle On Fire) ප්‍රසංගයේ අරමුදලින් මෙම නවීන පන්නයේ ත්‍රිරෝද රථය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාට භාරදෙන ලදී.
ලබාදීම සිදුවූ අතර පාසල් කාලය තුළදී දරුවෙකු හදිසි අනතුරකට හෝ රෝගී තත්ත්වයකට ලක් වූ විට රෝහලකට රැගෙන යාමට හෝ නිවසට රැගෙන යාමට පහසුකම් සැලසීම, එදිනෙදා පාසලේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා අනධ්‍යන කටයුතු අඩු වියදමකින් පහසු කිරීමට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ආසන්න පාසල් වෙත පහසුවෙන් යාම සහ ඒම මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙම පරිත්‍යාගය මඟින් දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ පාසලේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථකව හා ක්‍රියාත්මකව සිදු කිරීමට විශේෂ දායකත්වයක් සැලසෙනු ඇති බවත් පාසලට මෙවැනි වටිනා සහයක් සැපයීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් මෙවැනි දැවැන්ත කටයුතු සඳහා අනෙකුත් කණ්ඩායම්වලට මග පෙන්විමේ ප්‍රමුඛයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම සදහන් කරයි.

හිනිදුම –  රවීන්ද්‍ර චන්ද්‍රලාල්

සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්….

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන  පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01  සිට 08 වැනිදා අළුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම යෝග්‍ය බවය.

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි….

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස ඊයේ (18) එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත පිරිසක් එලෙස එකම කෝවිලකදී, හින්දු චාරිත්‍රානුකූලව විවාහ පත්වී තිබේ.

සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණි.

“මගේ දියණියගේ විවාහ මංගල්ලයේ දී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ. විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව. සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්‍යයක් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් දුක්වෙනවා. ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල් වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා.” යනුවෙන් ව්‍යාපාරික තුරෙයි මහතා සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්…

මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බව ගුවන් හමුදාව සඳහන් කරයි.

එලෙසම ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන එක් හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණක් බව අදාළ නිවේදනයේ වැඩිදුර සඳහන්ය.