ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න…..

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

  • පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම සිදුකළ හැක.)

එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීතිවිරෝධි, සමාජ විරෝධි සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වෙයි. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශවයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසුවනු ඇත.

  • ජංගම දුරකථනයක් නැති වූ හෝ අස්ථානගත වූ විටෙකදී සොරකමට භාජනය වූ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට IMEI අංකය සඳහන් කිරීම වැදගත් කරුණකි.

 

  • ජංගම දුරකථනය අස්ථානගත වන්නට පෙර, නැති වෙන්නට පෙර, IMEI අංකය ඇතුළු සේවා විස්තර තමා සතුව තබා ගැනීම අදාළ පුද්ගලයන්ගේ වගකීමකි. ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගැනීම සඳහා මෙම කෙටි යෙදුම (*#06# ) භාවිතා කළ හැක.

 

  • තවද ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෘදුකාංගයක් හරහා ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ineed.police.lk නම් වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බව පොලීසිය පවසයි.

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු ගැන රජය ගත් අලුත්ම තීරණය…..

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා වූ දැනට ක්‍රියාත්මක රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට නියමිතව ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම්කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි පසුගිය 2019 වසරේ අගොස්තු මස 02 දින ප්‍රකාශයට පත්කර ඇති අතර එම රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම්කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ.

ඒ අනුව 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද ඇතැම් සිම්කාඩ්පත් පිළිබඳව ග්‍රාහක තොරතුරු දුරකථන ක්‍රියාකාරු සමාගම් සතුව නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තවද වයස අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලෙපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.

කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.

මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, ” බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.

මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.

එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම‍ය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ යකාගේ නීතියක් ලෙසය.

මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.

මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.

එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්…..

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි.

ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සයිබර් ආරක්ෂාව, නීති,  පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්…..

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය.

නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්ය.

නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බව වාර්තා වේ.

ආසියානු කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෛම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”

මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් ද ‘අද දෙරණ’ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසීමක් කළේය.

“අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්.” 

එහිදි ඔහු සඳහන් කළේ, එවැනි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්…..

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.

ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වන බව සඳහන්ය.

පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී තිබේ.

2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් පසුගිය වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්…..

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා,

‍”ලෝකේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව සිදුවන්නාවූ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්.  කිරීටක ධමනිවල සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. මේකේ නම බයිපාස් සැත්කම. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. තරුණ කට්ටියට වැළඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි දැක්කොත් අවුරුදු 60-70 වයසේ අය තමා එන්නේ. දැන් අවුරුදු 25-30 සිට කට්ටිය එනවා. ශල්‍යකර්ම කරන්න අපිට ලොකු පොරොත්තු ලේඛණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම වර්ගවල බයිපාස් සැත්කම් සිදුකරනු ලබනවා. අපිට ගැලපෙනම දේ මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම. ඒ සඳහා ශාරීරික ව්‍යායාම කිරීම, නිවැරදි ආහාර රටාව, මානසික ආතතිය පාලනය කර ගැනීම, රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කර ගැනීම බොහෝ වැදගත් වෙනවා.”

මධ්‍යසාර භාවිතයෙන් දිනකට මියයන ප්‍රමාණය හෙළිදරව්වක්…..

මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනය පවසයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේ එම ප්‍රමාණය නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්‍යසාර දෙකෙහිම එකතුවක් වන බවය.

මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම නීතිවිරෝධී මධ්‍යසාර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එය 10%ක අගයක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් ද සේරම් මහතා,

“අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ.  එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0‍.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී මධ්‍යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී මධ්‍යසාර භාවිත කරලා 5-6ක් මිය යනවා. හැබැයි අද දවසේ මිනිස්සු 50ක් මධ්‍යසාර මිනිස්සු මරලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා මිනිස්සු 50 දෙනෙක් මරලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්….

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම් සාධක 4න් එකක් වන බවය.

මෙරට වැඩිහිටියන් මිලියන 1.5ක් පමණ දුම්පානයට ඇබ්බැහි වී ඇති බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ලෝකයේ සෑම තත්ත්පර 6කටම වරක් දුම්කොළ භාවිතය හේතුවෙන් මරණයක් වාර්තා වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලන උත්සාහයන් කෙරෙහි දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්හි බලපෑම් යන මැයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ වෛද්‍ය සජීව රණවීර මහතා සඳහන් කළේ 2021 වර්ෂයෙන් පසු දුම්වැටි සඳහා අය කරන බදුවල අඩුවීමක් සිදුව ඇති බවය.

ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැහැදිලි කළේ ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ ඇතැම් ළමුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

එම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් නීත්‍යානූකූල ලෙස අදාළ රජ්‍ය ආයතන ඔස්සේ හෝ පොලීසිය හරහා තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි.

එසේ නොමැතිව සද්භාවයෙන් වුවත් අනීතික ලෙස කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“මෙම ආපදා තත්ත්වයෙන් පසුව අපේ පුංචි දුවා දරුවෝ අනාරක්ෂිත තත්ත්වයට පත් වුණ අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. දෙමාපියන්, වැඩිහිටියන්, භාරකරුවන් අහිමි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අතැම් ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය හරහා මේ පුංචි දුවා දරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා වෙලා තියෙනවා. ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙකුට ළමයෙකුගේ හෝ මේ ආපදාවට පත් වෙච්ච දුවා දරුවෙකුගේ තොරතුරු අවශ්‍ය නම් ඔබ ක්‍රියා කළ යුත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා හෝ  ළඟම තිබෙන පොලීසියකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ ග්‍රාම සේවක මහත්ම මහත්මීන්ගෙන් මේ පිළිබඳ විස්තර ලබා ගැනීම මිස ඔබ සමාජ මාධ්‍ය හරහා යම් කිසි දුරකථන අංකයක් හරහා තොරතුරු ලබා ගැනීම යම්කිසි වරදකට වරදකරුවෙකු වෙනවා. ඇතැම් මහජනතාව මේ දරුවන්ව ආරක්ෂා කරන්නට හෝ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන්නට ඔහු හෝ ඇයව සුරක්ෂිත කරන්නට මේ ගනු ලබන උත්සහයන් විටකදී අපයෝජනයක් වෙන්න පුළුවන්. විටකදී සමාජ විරෝධි හෝ අනීතික වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ සද්භාවයෙන් යම් කිසි අවස්ථාවක ප්‍රවේශ වන්නේ නම් ඔබට පුළුවන් ළඟම තිබෙන ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා මේ පිළිබඳ තොරතුරක් ලබා ගන්නට.”