ත්‍යාග ලබා දෙන බව පවසා සංසරණය වන පණිවුඩයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පණිවුඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවය.

එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

සමාජ මාධ්‍ය භාවිතය තරුණයින් තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන බව මනෝවෛද්‍යවරුන් කියයි…..

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි.

කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

”ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සමඟ එකතු වෙන්න පුලුවන්.. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුලුවන්.. ඔවුන්ට තරහා පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.. මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැලවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පතාල කල්ලිවල සමාජිකයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුලුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්තාපනය ලබා දෙන එක”

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගෙන් විද්‍යාලයට ත්‍රී රෝද රථ තිලිණයක්…

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සදහා රුපියල් මිලියන 1.5 වටිනා නවීන පන්නයේ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා (30) සිදුවිය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ Maroon Dudes 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම මගින් පැවැත්වූ මෙරූන්ස් ගෝල් ඔන් ෆයර් (Maroons Galle On Fire) ප්‍රසංගයේ අරමුදලින් මෙම නවීන පන්නයේ ත්‍රිරෝද රථය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාට භාරදෙන ලදී.
ලබාදීම සිදුවූ අතර පාසල් කාලය තුළදී දරුවෙකු හදිසි අනතුරකට හෝ රෝගී තත්ත්වයකට ලක් වූ විට රෝහලකට රැගෙන යාමට හෝ නිවසට රැගෙන යාමට පහසුකම් සැලසීම, එදිනෙදා පාසලේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා අනධ්‍යන කටයුතු අඩු වියදමකින් පහසු කිරීමට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ආසන්න පාසල් වෙත පහසුවෙන් යාම සහ ඒම මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙම පරිත්‍යාගය මඟින් දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ පාසලේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථකව හා ක්‍රියාත්මකව සිදු කිරීමට විශේෂ දායකත්වයක් සැලසෙනු ඇති බවත් පාසලට මෙවැනි වටිනා සහයක් සැපයීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් මෙවැනි දැවැන්ත කටයුතු සඳහා අනෙකුත් කණ්ඩායම්වලට මග පෙන්විමේ ප්‍රමුඛයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම සදහන් කරයි.

හිනිදුම –  රවීන්ද්‍ර චන්ද්‍රලාල්

සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්….

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන  පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01  සිට 08 වැනිදා අළුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම යෝග්‍ය බවය.

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි….

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස ඊයේ (18) එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත පිරිසක් එලෙස එකම කෝවිලකදී, හින්දු චාරිත්‍රානුකූලව විවාහ පත්වී තිබේ.

සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණි.

“මගේ දියණියගේ විවාහ මංගල්ලයේ දී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ. විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව. සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්‍යයක් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් දුක්වෙනවා. ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල් වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා.” යනුවෙන් ව්‍යාපාරික තුරෙයි මහතා සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්…

මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බව ගුවන් හමුදාව සඳහන් කරයි.

එලෙසම ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන එක් හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණක් බව අදාළ නිවේදනයේ වැඩිදුර සඳහන්ය.

iPhone 17 Pro Max සැප්තැම්බර් මුල වෙළෙඳපොළට?

ඇපල් සමාගම විසින්  iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෙවුණු වසරේ iPhone 16 දුරකථන මාලාව නිකුත් කිරීමෙන් පසුව, මෙම iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17 මාලාව ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි.

මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නොමැත.

මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ව්‍යාජ ලබුබු බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක්….

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවය.

ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් සඳහා වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

මහජන දැනුවත්භාවය වර්ධනය වන විට මෙම අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ බෝනික්කන් සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි වන බවත්, ඒ සඳහා  නිවැරදි QR කේත නොමැති බවත් නිලධාරීන් සොයාගෙන ඇත.

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගත් මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් 50,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවය.

මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද රැකියා දැන්වීම් ප්‍රචාරණය සිදුවන බව සදහන්.

පසුගිය සති කිහිපය තුළ දී මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ද අදාළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එමනිසා තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

මාරාන්තික මී උණ දරුවන් අතර වැඩි වීමක්…..

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමුන් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවය.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.

මෙම මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

තවද මෙම රෝග තත්ත්වය වකුගඩු රෝග ආසාදනය සිදුවීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.