පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක්…..

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුව ඇත.

තවද එම සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන අනෙකුත් අනෙකුත් වෘත්ති ගැටලු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේදී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳවද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන්ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කෙරුණි.

විසදුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර තවත් කරුණු ගණනාවක් සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී විමසා බැලුණි.

බරවා පරීක්ෂාවන්ට රාත්‍රියේ නිවෙස්වලට එන නිලධාරීන්ට සහායවන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්….

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා,

“බරවාවලදී අපි ගාවට රෝගීයෙක් රෝග ලක්ෂණ එක්ක පැමිණෙන්නේ අදාළ පුද්ගලයා අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා. පාර තොටේ දකින කකුල් ඉදිමුණ, විශේෂ අවයවවල ඉදිමුම් සහිත බොහෝ අපසුතාවලින් සිටින රෝගීයෙක් හඳුනාගන්නේ ගොඩක් කල් ගිහිල්ලා. මේ රෝගීන් ඇත්තටම අපි හඳුනාගැනීමක් කරන්නේ රාත්‍රී කාලයේදී අදාළ ප්‍රජාව තුළ සිදුකරන විශේෂ රුධිර පඨල පරික්ෂාවන් මගින්. මේ අවුරුද්දේ රෝගීන් 27ක් හඳුනාගන්නවා අපේ පරිසරය ඇතුළේ සැකසහිත දිස්ත්‍රික්කවල ඉන්න නිරෝගී හැටියට පෙනීසිටින පුද්ගලයින්ගේ රුධිර පඨල හරහා. අපි මේ හරියටම ඉලක්ක කරලා යන්නේ ලංකාවෙ ඇතුළේ මේ රෝගය කලින් ඉදන් පැතිරුණ සහ අපේ පරණ විස්තරත් එක්ක වැඩි අවදානමක් තියෙන ස්ථානවල. නමුත් මේ වනවිට අපට ගැටලුවක් තියෙනවා කිසියම් ආකාරයක වැරදි විදිහට නිර්මාණය කළ හඬපටයක් තැන් තැන්වල ප්‍රචාරය වෙනවා “රාත්‍රී කාලයේ ලේ ගන්න කණ්ඩායම් එනවා ඒ අයට ලේ දෙන්න එපා අල්ලලා ගහලා බැදලා පොලීසියට භාරදෙන්න” කියලා මේ වගේ වැරදි ප්‍රචාරයක් යන එකත් එක්ක අපි රාත්‍රීකාලයේදී කරන රුධිර පඨල පරික්ෂාවන් එක්ක ලොකු බාදාවක් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම අපි හරි විදිහේ දැනුම්වත් කිරීම් සහිතව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව ඒ සඳහා අනුමත නිලධාරීන් එයාලගේ නිල ඇඳුමෙන් සැරසිලා, රාජකාරි හැදුනුම්පත සහිතව හරි විදියේ දැනුම්වත් කිරීමක් සහිතව යන ගමනක්.  මේ අවස්ථාවේදී ඔයාලගේ උදව් ඕනේ.”

මේ අතර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද දැනුවත් කෙරුණි.

එහිදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද අදහස් දැන්වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න,

“සැප්තැම්බර් වන විදේශ ගතවෙලා ලංකාවට ආපු රෝගීන් 35ක් වාර්තා වෙනවා  එයින් එක් අයෙකු මරණයට ලක් වුණා මෙයින් 83%ක්ම පිරිමි පුද්ගලයින් සහ 80%ක්ම ශ්‍රී ලාංකියන් තමයි මේ මැරේලියාව හදාගෙන ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ රෝගීන් අතුරින් 77%ක්  Plasmodium falciparum කියන මැලේරියා පරපෝෂිතයා ආසාදනය වුණ අය. මොලේ මැලේරියාව සහ සියලුම අවයවල සංකූලතා ඇතිකරන මාරාන්තික රෝගයක් ඇති කරන්නේ Plasmodium falciparum මැලේරියාවෙන්. ඒ වගේම මෙයින් 86%ක්ම කිසිම සංකූලතා නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. මේ අතර අවදාම් කණ්ඩ විදිහට තියෙන්නේ වන්දනාවේ යන පුද්ගලයින්. විශේෂයෙන් දඹදිව, මියන්මාරය, තායිලන්තය වැනි රටවලට වන්දනාවේ යන පුද්ගලයින්, ඒ වගේම අප්‍රිකානු රටවලට ලංකාවේ මිනිස්සු විවිධ රැකියා සඳහා පිටත්ව යනවා පුහුණු වැඩසටහන් සඳහා එතකොට මේ වගේ රටවලට ජනතාවට දෙන්න තියෙන පණිවුඩය තමයි මේ මැලේරියාව වළක්වාගැනීමේ ඖෂධ, මැලේරියා මර්ද ව්‍යාපාරය සහ ප්‍රාදේශ මැලේරියා මර්දන ඒකකවලදී ඔබට නොමිලේ ලබාගන්න පුළුවන්.”

නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්….

සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බවය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ ⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක⁣ට එක්වෙමින්ය.

05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බව වාර්තා වෙයි.

සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.

සුමාත්‍රා දූපත ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5කට වඩා වැඩි අගයකින් භූ කම්පනයක් වාර්තාවූ විට දිවයිනට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.

යළිත් හිස ඔසවන ඩෙංගු – මරණ 22ක් දක්වා ඉහළට……

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවය.

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 22ක් සිදු ව තිබේ.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කළේය.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මැලේරියා රෝගීන් 35ක්…..

වසරේ ගෙවුණු කාලය තුළ පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ඔවුන් සඳහන් කළේය.

2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු අතර විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය වාර්තා වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ 071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවය.

සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවට අනාවරණයක්….

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනුයේ පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත් වයස අවුරුදු 20න් පසුව සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවුරුදු 20-40ත් අතර වසයේ පසුවන අයෙකු වේ නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි නම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකටද යොමුවන ලෙසය.

පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාව්‍යක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම, පියයුරුවල වේදනාව, සමේ ඇතිවන වෙනස්කම් වැනි රෝග ලක්ෂ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද ඒ සඳහා සුනනාරි සායන, සුවදිවි සායන, පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන සඳහාද යොමු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍යට වැඩිපුර නැඹුරුවන්නේ බස්නාහිර පළාතෙන් බවට අනාවරණයක්…

මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.

මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බව හඳුනා ගෙන ඇත.

මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද බලපාන බවට හඳුනාගෙන තිබේ.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව, පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, තාරුණ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවරණය අධ්‍යාපනය හා පුහුණුව, පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, පාරිසරික පාදක මත්ද්‍රව්‍ය අධ්‍යාපන පුහුණුව හෙවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණුව යන ධාරා ඔස්සේ ඒවා ක්‍රියාත්මක වේ.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවු පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ක්‍රියා කරන අතර ඒ සඳහා වූ පාසල් උපදේශක ගුරුවරු පුහුණු කර ඇත්තේ අනාවරණ පරික්ෂණයකින් අනතුරුව පියවර තුනක් ඔස්සේ ක්‍රියා කිරීමටය.

ඒ අනුව, අඩු අවදානමක් සහිත සිසුන් සඳහා උපදේශන හා මැදිහත්වීම් සිදු කිරීම පළමු පියවර ඔස්සේ සිදු කරනු ලැබේ.

දෙවන පියවර ඔස්සේ මැදි අවදානමක් සහිත සිසුන් හඳුනා ගැනීම සහ ඉහළ අවදානමක් සහිත සිසුන් හඳුනාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමු කිරීම සිදු කර‍යි.

අවසන් පියවර ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ක්‍රියාවලියට ලක්කර නැවත පාසල් අධ්‍යාපනයට හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තිය අධ්‍යාපනයට යොමුකරවීමට මාර්ගය සැලසීම සිදුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවය.

ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම  වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර්ජාල රැවටීම් ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි….

2024 සහ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අපචාරවලට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී එම තත්ත්වය 50%කට ආසන්න ඉහළ යාමක් බව ඔවුන් පෙන්වා දේ.

2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු හා කාන්තාවන් 375ක් එලෙස සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇත.

කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දෙවසරක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්….

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය.

වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙම අදහස් පල කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට…..

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි.

ඒ අනුව, ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.