ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප…

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නැමැත්තෙකි.

ඒ අනුව ඔහු රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ 250,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය තීන්දු කළේය‍

තවද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊට ආදාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්….

දර්ගා නගරයේ දී නඩුවක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී කලහාකාරීව හැසිරුණු පුද්ගලයෙකුට අලුත්ගම පොලීසියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය පසුගිය 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී අදාළ සිදුවීම සිදුව තිබුණි.

ඒ අනුව, එම සැකකරු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කළේය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බවය.

අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ඊයේ (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

“අධිකරණය විසින්ම පැහැදිලි නියෝගයක් ලබාදුන්නා නීතිවිරෝධිව අනීතික ලෙස රැස්වීම පිළිබඳ විමර්ශනයක් සිදුකර ගරු අධිකරණයට ඊළඟ දිනයේ දී වාර්තා කරන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් සපයන්න නියමිතයි” යනුවෙන් හෙතෙම පැවසීය.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් සොයා හබරණ දී සොයා ගැනේ.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් අඩංගු පාර්සලයක් හබරණ පොලොන්නරුව මාර්ගයේ බෝක්කුවක් යට තිබී අද (25) සවස සොයා ගත් බව හබරණ පොලිසිය පවසයි.
මාර්ගය සුද්දපවිත්‍ර කිරීමේ රාජකාරිවල නිරතව සිටි මාර්ග සංවර්ධන අධීකාරියේ හබරණ කාර්යාලයේ කම්කරුවන් පිරිසක් කළ දැනුම්වත් කිරීමක් අනුව හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගෙන තිබේ.
හබරණ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. විමල් සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගත් බවත්, එම පාර්සලය තුළ තිබී මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06 ක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධීරණයට කරුණු වාර්ථා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. එහිදී අධීකරණයෙන් පොලිසියට ලත් නියෝගයක් අනුව එම බෝම්බ පතුරම් 06 නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, කුරුණෑගල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් හෙට(26) දින එම පතුරම් නිශ්ක්‍රීය කිරිමට හබරණ පොලිසිය කටයුතු යොදා තිබේ.
එම බෝම්බ පතුරම් අඩංගු පාර්සලය එම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමා ඇතිදැයි යන්න හා එම සැකකරුවන් කවුරුන්දැයි යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ. හබරණ පොලිස් ස්ථානය මගින් එම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

රැප් ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට….

රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණුපොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව පොලීසිය විසින් මෙම සැකකාර රැප් ගායකයා රැඳී සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සිය පරිශීලකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ මුහුණුපොතට මුදාහැරිය බවට අනාවරණය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 26 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය ද මේ සමඟ සබැඳිව එවමි.

WhatsApp Image 2025-08-25 at 14.40.02_a5b7cc74

කුන්ඩසාලේ බස්නැවතුම්පොලේ නාඳුනන මළ සිරුරක්….

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි….

අද (24) පස්වරු 4 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

“ඉදිරිපත් කරපු ප්‍රධන ඉල්ලීම් දෙකක් තිබුණා. නමුත් අපි මුල ඉදළම කිව්වා ඒ ඉල්ලීම් ගැන රජය සාකච්ඡා කරන්න සූදානම් නෑ කියලා. ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා.”

“ඒ අනුව අද සවස 4.00 සිට තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරලා නියමිත පරිදි තමන්ගේ රාජකාරි කරන්න සියලුම වෘත්තීය සමිත එකඟතාවය පල කළා.”

“වැඩවර්ජනය කළ සියලුම තැපැත් සේවකයින්ට අපි කියන්න කැමති දින 6ක විතර සිදුවෙච්ච පාඩුවක් තියෙනවා. ගොඩ ගැහුණ ලියුම් සහ පාර්සල් කන්දරාවක් තියෙනවා. ඒවා නිදහස් කරලා දෙන්න ඕනේ. බලාපොරොත්තු වෙනවා ඒ වෘත්තීය සමිති වලට අදාළ සියලුදෙනා පැමින ඒ කටයුතු නොපමාව ඉටු කරයි කියලා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය.

“සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක අපි වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නවා.”

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

පොලීසියේ 51කට උසස්වීම්…

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ.

තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ.

පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.