රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක….

රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.

මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළැඹෙන්නේ වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

ජනතාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක පවතින රජය යටතේ පාලනය වන යම් රාජ්‍ය මාධ්‍ය විසින් වගකීම් විරහිත ලෙස මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන සුලු ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනයේ පෙන්වා දී ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලිපි ශීර්ෂය නීති විරෝධි ලෙස භාවිතා කරමින් සහ ලේකම්තුමාගේ අත්සන අවභාවිතා කරමින් කුඨ ලේඛන සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවය.

එම නීතිවිරෝධි ක්‍රියාවන් සහ අවභාවිතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

මධ්‍ය තැපැල් හුවමාරුවට කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි….

කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ වනවිට පොලිස් ආරක්ෂාවද ඒ අවට දැඩි කර ඇති බවය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්වුණි.

ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මක වන අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටියේය.

මේ අතර සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා සඳහන් කළේ, ජනතාව අපහසුතාවයට පත් නොකර වර්ජනය අවසන් කරන ලෙස සෙසු තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර අද දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගු වන බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සියලු තැපැල් සේවකයින්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලා සිටී.

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි….

බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකු බවත් පොලීසිය පවසයි.

බණ්ඩාරගම, බොල්ගොඩ තුංබෝධිය පාලම අසලදී ඊයේ (21) පස්වරු 6:05ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරු වෙඩික්කරුගේ ඉලක්කය වූ බව පොලීසිය පැවසීය.

වෙඩික්කරුවන් එම මෝටර් රථය ලුහුබඳින අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 29ක් පමණ මෙහිදී එල්ල කර ඇති බවය.

ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් කළුතර දෙසට පලාගොස් ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මෝටර් රථය තුළම ජීවිතක්ෂයට පත්වුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නමැත්තෙක් වන අතර ඔහු වැඩතහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකි.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ඝාතනය වූ අවස්ථාවේදී  පොලිසිය සොයාගෙන තිබේ.

මරණකරු 2021 වසරේ ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා අපරාධ කල්ලි සාමාජික සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත

වර්ජනය අත්හැර සාකච්ඡාවට සූදානම් නැහැ – තැපැල් සේවකයින් දැඩි තීරණයක….

වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

අඛණ්ඩව ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බවය.

කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදුකිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

මේ වනවිටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු පැවසීය.

යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී….

‍යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී ඇත.

කොඩිකාමම් පොලීසිය පවසන ලද්දේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බවයි.

අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හමුවු පතරොම් සහිත බෑගය යාපනය,චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පතරොම් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

ගම්පහ ප්‍රදේශයේ අපරාධකරුවන් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට…

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 10කු මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමක දී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී – 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ආණ්ඩුව ට්‍රිලියන 1.2ක් අච්චු ගහලා.. රටේ ණය බර බිලියන 905 කින් ඉහළ ගිහින්..

මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමු වීමේ ආරම්භය විය හැකි බව එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, මේ දක්වා කාලය තුල එක් එක් මාසයේ දී අච්චු ගසා ඇති මුදල හෙවත් ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (money printing – Broad money (M2b) ප්‍රමාණය පහත දැක්වේ.

(රු.බිලියන)

2024 ඔක්තෝබර් 58.70

නොවැම්බර් 78.30

දෙසැම්බර් 234.80

2025 ජනවාරි 117.40

පෙබරවාරි 104.70

මාර්තු 233.90

අප්‍රේල් 154.20

මැයි 33.60

ජූනි 210.30

අච්චු ගැසූ මුළු මුදල රු. බිලියන 1,225.9 (පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b))

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී, අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා. 2022 අප්‍රේල් – මැයි පුළුල්වීම 17% -20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදු විය. 2001, රටේ මුල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි.

ණය බර වැඩිවීම

පසුගිය සැප්තෑම්බර් ජනාධිපතිවරණ‍යෙන් පසුව නැවත රටේ ණය ක්‍රමිකව නමුත් වේගයෙන් වැඩි වෙමින් ඇත. නව රජය බිහිවන විට රු. බිලියන 17,595.05 ක් වූ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 අප්‍රේල් වන විට රු. බිලියන 18,629.86 දක්වා එනම්, රු. බි. 1034.81 කින් ඉහළ නැග ඇත.

නව රජයේ පාලනය යටතේ රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,480. 39 දක්වා රු. බිලියන 905.74 ඉහළ ගොස් ඇත. විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇති නමුත්, දිගින් දිගටම බැඳුම්කර හරහා දේශීය ණය ලබා ගැනීම මෙයට හේතුවයි.

පසුගිය අගොස්තු 12 දින මහ බැංකුව ඉදිරිපත් කළ රු. බිලියන 65 ක බැඳුම්කර නිකුතුව අලෙවි වූයේ නැත. 2032 කල් පිරෙන (8% පොලිය) බැඳුම්කරයට එකම ලංසුවක් හෝ නොවීය. දේශීය ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තියට මෙය පැහැදිලි රතු එළියකි.

විදේශ සංචිත පහත වැටීම

මහ බැංකුවේ නිල දත්ත අනුව, 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ සංචිත ජූනි මස ඩො.මි. 6,080 ට පහත වැටුණි. ජූලි මස විදේශ සංචිත ඩො.මි. 6,114 කි. Swap (හුවමාරු) හරහා සිදුවන ව්‍යුත්පන්න කොන්ත්‍රාත්තු (derivative contracts) ද ඇතුලත් කරමින් ‘සංචිත’ ප්‍රකාශයට පත් කෙරේ.

කෙසේ වුවත්, Swap හුවමාරු අගය ඉවත් කළ විට, 2025 මාර්තු ඩො.මි. 2,799 ක් වූ රටේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ජූනි මස වන විට ඩො.මි. 2,210 දක්වා අඩුවී ඇත.

2024 දෙසැම්බර් මුළු සංචිත ඩො.මි. 6,122 න්, Swap ඩො.මි. 3,548 ක් වූ අතර, ශුද්ධ සංචිත 2,574 කි.

2025 ජූනි මුළු සංචිත ප්‍රමාණය ඩො.මි. 6,080 න්, චීන සහ වෙනත් Swap ඩො.මි. 3,870 ක් වු අතර, ශුද්ධ සංචිත ඩො.මි. 2,210 කි. ඒ අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජූනි දක්වා ශුද්ධ විදේශ සංචිත අඩුවීම ඩො.මි. 364 කි.

2021 – 2022 ආර්ථිකය බිඳවැටීමේ පූර්ව ලක්ෂණ මතුවන විට ප්‍රමාණික විෂය දැනුමක් සහිත පිරිස් මුදල් අච්චු ගැසීම, අසීමිත ණය ගැනීම හා විදේශ සංචිත පහත වැටීම ගැන අනතුරු හඟවනු ලැබීය. එම අනතුරු හැඟවීම් නොතකා කරුණු සැඟවීම හා විචාරකයින්ට අවලාද නැගීම 2022 ‘මූල්‍ය බිඳ වැටීම’, දැවැන්ත ආර්ථික බිඳවැටීමක් දක්වා වර්ධනය වූවේය. වසර හතරකට පසු නැවත එවැනිම මුල්‍ය බිඳවැටීමක පෙරමඟ ලකුණු හඳුණාගෙන පිළියම් යෙදීම මහ බැංකුව, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුවේ වගකීමකි.

රුපියල් බිලියන 1225.9 මුදල් අච්චු ගැසීම, ඩො.මි. 364 කින් විදේශ සංචිත පහත වැටීම හා රු. බිලියන 905.74 කින් රටේ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම අනිවාර්ය වනු ඇත. එය දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරන තත්වයකි.

LANKA LEADER NEWS

ගාලූ කුමරී පීලි පනී….

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇත.

දුම්රිය පිලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී සිදුව ඇතිබව වාර්තා වෙයි.

ලංගම බස් රථයක එංජිමට යූරියා දාලා….

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන බස් රථයකට මෙලෙස යූරියා පොහොර දමා තිබේ.

එම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී ඉකුත් 12වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් එංජිම තුළට මෙලෙස යූරියා පොහොර දමා ඇත.

බස් රථය උදෑසන ධාවනය කිරීමට ප්‍රථම, එංජිමේ තෙල් පරික්ෂා කිරීම සඳහා ආවරණය විවෘත කර බැලීමේදී එංජිමේ මූඩිය ගලවා තිබූ බව අනාවරණය වී තිබේ.

එමෙන්ම ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යයක් එංජිම වටා වැටී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකසිතා එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නුවරඑළිය ඩිපෝ කළමණාකාරවරයා පවසා සිටියේ, බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එංජිම තුළට යූරියා පොහොර දමා ඇති බවය.

ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇඳගෙන නුවරඑළිය ඩිපෝව වෙත රැගෙන විත් එංජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

ගැටලාව වැවෙන් මතු වූ උණ්ඩ තොගය…..

ඊයේ (13) දින දහවල් කාලයේදී තම කුඹුර වෙත පැමිණි පුද්ගලයෙකු කුඹුරට ගොස් ඔහුගේ කකුල සේදීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක ඇති අතර මේ පිළිබඳව එම පුද්ගලයා විසින් කඩිනිමනි මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.පසුව මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ ගැටලාව වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී විවිධ වර්ගයේ ජීව පතොරම් විශාල ප්‍රමාණයක් ඊයේ (13) දින සොයාගැනීමට හැකිවුණා.

සොයාගත් පතොරම් තොගය (5038) පන්දහස් තිස්අටක ප්‍රමාණයක් බවයි පොලිසිය සදහන් කළේ.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර අද (14) දින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.