වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි….

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් නිසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහා දරා ඇති බවත්ය.

එහිදී පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කළ බව අප කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය 24 වනදා මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු ද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි….

රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.

එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.

කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.

මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.

ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා…..

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  71 කාන්තාවකි.

මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත.

යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ.

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට සිදුවු අකරතැබ්බය…..

නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.

පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසින් සොයා ගෙන තිබුණි.

පසුව එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ විදෙස් කතව අගමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය ලබාදී ඇත.

එහි ලංකාාවේ මුදල් රුපියල් 6,000ක් හා මෙරට මුදලින් රු ලක්ෂ 6ක පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තිබී තිබේ.

කළු ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වයි….

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජරට රැජින දුම්රියේ ගින්නක්…

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපියට ඉදිරි පියවර ගන්නැයි පොලිස්පති දැනුම්දීලා…

තමාට ආරක්ෂාව සලසන ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 6 වනදා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වනදා යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සඳහන් කළේ අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයාබලා ලසන්ත වික්‍රමසේකරට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන් බවය.

මේ අතර වැලිගම සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.

වෙඩික්කරු බොහෝදුරට ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙක් බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා ප්‍රාදේශීය සභාව තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ වන විට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර ඇත.

මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් දෙකක් සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය…..

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

ඔහු බොහෝ දුරට ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවට සැක කරන බවද පොලීසිය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා (22) ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ වනවිට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් 2ක් CCTV කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවය.

රජයේ නිලධාරීන්ට බලපෑම් කළ කළමණාකරුවෙකු අත්අඩංගුවට අල්ලස් දැලේ….

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.

වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්….

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (23)  පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර  බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.

තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.