LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි….

2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස අධි චෝදනා ගොනුකිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමිම් රහ්මාන් නම් නැමැත්තාටය.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ අද (3) කැඳවනු ලැබූ අතර, ඒ සඳහා තමිම් රහ්මාන් නැමැත්තාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව අධිකරණයට දැන්වීය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එළැඹෙන දෙසැම්බර් 5 වනදා කැඳවීමට නියම කළේය.

රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට…..

නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සහ රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යෙදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සුදානම්කර තිබූ බව නාවික හමුදාව පැවසුවේය.

සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

හොර පාරේ ගෙන් වූ ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේ….

රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන ඇත.

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන තිබේ.

පසුගිය 30වනදා ඩුබායි වෙත ගොස් තිබූ මෙම සැකකරුවන් ඊයේ (2) යළිත් මෙරටට පැමිණීමේ දී මෙම භාණ්ඩ තොගයට නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණ ඇත.

අත්අඩංගුව ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකරයි.

පාසල් සිසුවෙක් පහරදී ගුරුවරයා රෝහලට….

මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇතැයි වාර්තා වේ.

අණ නොතැකූ වෑන් රථයට පොලීසියෙන් වෙඩි…..

නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි.

පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ.

අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පැවසීය.

එහි රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙකු බවත් සෙසු පිරිස රත්නපුරේ පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතයොමු කර ඇති අතර, සැකකරුවන්ව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෑන් රථය නතර කිරීමෙන් අනතුරුව එහි රියදුරුව පොලිස් නිලධාරීන් විසින් මහ පාරේ දණ ගස්වා සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී තිබේ.

වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් ගොඩගනී…..

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ.

තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත.

මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

කොළඹින් සැකකටයුතු මළසිරුරු දෙකක් – පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි….

සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු වූ බවය.

ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී එක් මළසිරුරක් හමු වී ඇති අතර පොලීසිය පැවසුවේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවය.

එමෙන්ම එම පුද්ගලයා අඩි 05 අඟල් 04 ක් පමණ වන බවත් කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් හැඳ සිට ඇත.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අනෙක් සිරුර ඊයේ රාත්‍රියේ දෙහිවල, සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසකින් හමු වී ඇත.

එම සිරුරද පිරිමි පුද්ගලයෙකුගේ වන අරත මරණකරු වයස අවුරුදු 23 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මට්ටක්කුලියේ සිදුකළ වැටලීමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී….

හැෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමඟ සැකකරුවෙකුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය  වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට….

විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට…..

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ.

සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් දිනකට පසුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික බවට තමන් දැනගත් බවය.

එතෙක් තමන් ඒ පිළිබදව කිසිවක් දැන නොසිටි බවද සැකකරු පවසා තිබේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බැකෝ සමන්ගේ වට්ස්ඇප් දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගිය බවය.

එහිදී බැකෝ සමන් විසින් ”අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස් කරගන්න ඕනා. මට ඒක කරලා දෙන්න පුළුවන් ද? යනුවෙන් සම්පත් මනම්පේරිගෙන් විමසා ඇති අතර ඊට ඔහු ”ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී” යනුවෙන් විමසා ඇත.

එහිදී බැකෝ සමන් ”එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි ”‍ යනුවෙන් සඳහන් කළ බව මනම්පේරි ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව සම්පත් මනම්පේරි තවත් පුද්ගලයෙකු සමඟ ගොස් අදාළ කන්ටේනර් දෙක සිය භාරයට ගෙන මිද්දෙණිය ප්‍රදේශයට ගෙනැවිත් තිබු අතර, ඊට අදාළ ලියකියවිලි බැකෝ සමන් විසින් සම්පත් මන්ම්පේරිට වට්ස්ඇප් ඔස්සේ එවා තිබේ.

ඊට සම්පත් මනම්පේරිගේ සහෝදරයෙකු වන පියල් මනම්පේරි නමැත්තාගේ ද සහාය ලැබී ඇත.

කෙසේවෙතත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බියට පත් සම්පත් මනම්පේරි සිය සහෝදරයා සමඟ එක්ව ඒවා වළ දැමීමට පියවර ගෙන තිබුණි.

පසුව තමන් මිද්දෙණිය ප්‍රදේශයෙන් පළා ගිය බව විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබේ.

ඒ අතරතුර ඔහු බැකෝ සමන් සහ දරූන් නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර කර තිබූ බව හෙළිව ඇත.

මේ අතර, සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ පැවති සබඳතා හෙළිකර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළත් තවමත් එය සොයා ගැනීමට හැකිව නැහැ.

ඒ සම්බන්ධයෙන් ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණි.

”‍සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චිවයට තියලා විනාශ කරලා දැම්මා”‍ යනුවෙන් මනම්පේරි පිළිතුරු දී තිබේ.

පොලිසිය පැවසුවේ බැකෝ සමන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම හා ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට සම්පත් මනම්පේරි පිළිගෙන ඇති බවය.

එමෙන්ම කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා තමන් විසින් ලබාදුන් ගිනිඅවි යොදාගෙන ඇති බවද සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ඔහු හිටපු අමාත්‍යවරුන් සමග සමීප සබදතා පවත්වා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඒ පිළිබදව ද විමර්ශන ක්‍රියාත්මකය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.