පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ….

නායයෑමක් හේතුවෙන් වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යළි විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේදී වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කඳු හා ගල්පෙරළීමෙන් පසුගිය සෙනසුරාදා අනතුරක් සිදුවිය.

එහිදී පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව මාර්ගයේ ගමන් කිරීමේ දී පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙනතුරු නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණි.

ඒ අනුව දින 3කට පසුව අද පෙරවරුවේ මාර්ගයේ එක්මන්තීරුවක් යළි විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා අද දෙරණට සඳහන් කළේය.

මේ අතර පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගයට ගල් පෙරලු ස්ථානයේ පවතින අවධානම් සහිත අනෙකුත් ගල් ඉවත් කිරීමේ කටයුතු එළඹෙන 29වනදා යළි ආරම්භ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේය.

කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට….

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ පුද්ගලයින් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක් බැගින් වූ දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි….

පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවය.

ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.

එමෙන්ම තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.

ඉන් තත්පරයට ඝන අඩි 3,720 බැගින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්….

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවය.

එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට ත්ත්තපරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂා තත්ත්වය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මෙම ප්‍රදේශ ආශ්‍රිතව පහත්බිම් හරහා වැටී ඇති මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද සිදුකරන තිබේ.

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට…..

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (22) සවස් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.

පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරනලද  විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

දකුණේ හෝටල්හිමිකරුවෙකු ඝාතනයට ආ සැකකරු මාට්ටු…..

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට….

කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ  රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත  ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.

පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – අමාත්‍ය චන්දන අබේරත්න…..

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා.”

මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩු විභාගය ඇරඹෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අයථා ලෙස වක්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනුකිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළේය.

එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කර සිටියාය.

එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.