කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා  යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදී ඇත.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වනදා කැඳවීමට ද එහිදී නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බව වාර්තා වේ.

ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්…..

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17)  එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1115ක් අත්අඩංගුවට…..

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට අදික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් 1131ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක් ද, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක්, මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ ඇත.

එමෙන්ම සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි….

තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම පැමිණි මාර්ගයේ අනුරාධපුර දෙසට නැවත හැරවීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු….

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක්  සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බව පොලීසිය පවසයි.

“ඉවත්වනු” මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්…..

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.

එහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.

එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ. එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජනවාරි මස 29 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවක වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු පෙනී සිටින බව දැනුම් දුනි.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළ මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ රෝහාන්  සිල්වා පියතුමා ද එම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා ජ්‍යෙෂ්ඨ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු වන අතර ඔහු මේ වන විට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සේවය කරන බවත් කියා සිටියේය.

තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් විමර්ශන අඩාල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළ සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළාය.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 11 වනදාට පෙර ගොනු කිරීමට පියවර කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 14 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 29 වනදා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණයට ඇතුළුවීමට උත්සාහකළ කතක් රිමාන්ඩ්….

ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා විසින් මෙම නියෝග කළ බව  වාර්තාකරු පැවසීය.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට ඊයේ (27) පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන තිබුණි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළිවී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ලක්ෂ්මි නැමති අයෙකු බවය.

ඇයගේ හැඳුනුම්පතේ ලිපිනය තංගල්ල ලෙස සඳහන්ව තිබුණද, ඇය පොලීසියට පවසා ඇත්තේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

එමෙන්ම ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවටද පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත භාවිත කර නඩු පොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය අසත්‍යක් පවසන බවට සැක මතුව ඇති බව සඳහන්ය.

පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසියට භාර දීමෙන් පසු, ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

නඩුවක් නොමැතිව නඩුවක් ඇති බව පවසා අධිකරණ භූමියට ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සැකය මත, එම කාන්තාව අද (28) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා සැකකාර කාන්තාව නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.