ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

චාමර සම්පත්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

ඒ, මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියම කළේය.

රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන හැත්තෑදහස ඉක්මවයි…..

රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදුකරන දෛනික සෝදිසි මෙහෙයුම්වලට අදාළව ඊයේ (23) දිනයේදී පුද්ගලයින් 819ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුප්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම, අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මෙම මෙහෙයුමේ අරමුණ වේ.

ඊයේ දිනයේදී සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් සිදුකරනු ලැබූ වැටලීම් 304කින් හෙරොයින් ග්‍රෑම් 367ක් අයිස් කිලෝ 2 ග්‍රෑම් 97ක් සහ ගංජා කිලෝ 32 ග්‍රෑම් 804ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට ඊයේ (22) දිනය දක්වා රටම එකට දෛනික මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 77,105ක් බව පොලීසිය පවසයි.

එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධව පුද්ගලයින් 68කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 1,582කට එරෙහිව  රැඳවුම් නියෝග ලබා ගැනීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

පොලීසිය පැවසුවේ එම කාලය තුළ සිදුකර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 77,824ක් බවය.

එමෙන්ම මෙම කාලය තුළ සිදුකරනු ලැබූ මෙම මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 320 ග්‍රෑම් 741ක් පොලිස් භාරයට ගෙන තිබේ.

තවද අයිස් කිලෝ 1,280 ග්‍රෑම් 956ක්ද, කොකේන් කිලෝ 6 ග්‍රෑම් 816ක්, ගංජා කිලෝ 2,341 ග්‍රෑම් 723ක්ද ගංජා පැල 5,568,583ක්, කුෂ් කිලෝ 155 ග්‍රෑම් 487ක්, හෂීස් කිලෝ 44 ග්‍රෑම් 047ක්, මත්පෙති 132,561ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගැනීමටද කටයුතු කර තිබේ.

අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…..

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ, එම කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ් නිලධාරියා කියා සිටියේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින් වර මේ සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා විමර්ශන සිදු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

2012 වසරේ මාර්තු 31 වන දා සිට  2014 වසරේ මාර්තු 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඔහු පැවසීය.

සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කර නොමැති බව  සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවත් කීවේය.

ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබා දුන් බව සඳහන් කර ඇති අතර එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාල මුදල සැකකරුට ලබාදුන් බව පැවසුවත් විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අමතරව තවත් මිලියන අටක මුදලක් සහෝදරයෙකු විසින් ලබාදුන් බව  සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේය.

මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත් මේ සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම් දුන්නේය.

මෙම සැකකරු ඇපමත මුදා හරිනු ලැබූවොත් එම සාක්ෂිකරුවන්ට බාධා සිදු බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබා දී තිබෙන බවය.

මෙම විමර්ශනවලට අවශ්‍ය ලේඛන මීට වසර 11 කට පමණ පෙර සැකකරු විසින් අල්ලස් කොමිසමට ලබාදී ඇති බවත් සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම සැකකරුගේ ආදායම් උපයා ගැනීම්වලට අදාළ ලේඛනයක් ද අද (23) දින නීතිඥවරයා විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කාරණා ඉදිරිපත්වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරු විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කර තිබෙන බවය.

මෙම සැකකරුගේ එම ක්‍රියා කලාපය දෙස සලකා බැලීමේදී ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙය ඇප ලබාදිය හැකි වරදක් වුවත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ, මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එමෙන්ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවට…..

2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔහු අද (23) මේ බව ප්‍රකාශ කළේ.

මේ කාල සීමාව තුළ රිය අනතුරු 135ක් සිදුව ඇති බවත් ඉන් රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනෙකු මිය ගොස් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තියේ යෙදෙන සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගනු ලබනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබෙනවා. 

රියදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව දියත් කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. 2026 වසරේ සිදුකළ වැටලීම්වලින් පසුගිය දින 22 ට විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 135ක් සිදුවී තිබෙන අතර දින විසිදෙකට රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනකු මිය ගොස් තිබෙනවා. 

මේ තත්ත්වය වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. එබැවින් සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා.”

හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා…..

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

2017 වසරේ දී ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකළ බවට හිටපු ඛණිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග  යන අයට චෝදනා එල්ල වී තිබේ.

ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගය 30 වනදා…..

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (22) ප්‍රකාශ කළේය.

ඒ අදාල පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.

පැති බැම්මට යටවූ තිදෙනා මරුට….

හංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය පවසයි…

විදුලිසැරවැදී අයෙක් මරුට….

සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදී ඇද වැටීමෙන් මියගොස් ඇති එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර ගල්නෑව නගරයේ බස්නැවතුම්පළක රැදී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ගල්නෑව රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය

එම පුද්ගලයාගේ ද අනන්‍යතාවද තහවුරු වී නොමැති අතර මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු කියන් දුරකථන අංක රැසක්…..

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් අද (21) නිකුත් කළේය.

දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 46ක නාමාවලියක් මෙලෙස නිකුත්කර ඇත..එය පහතින් දැක්වේ

.Untitled-5