මාවනැල්ල සහ මහනුවරට මත්ද්‍රව්‍ය බෙදූ සමීර් සියල්ල හෙළි කරයි…..

මාවනැල්ලට හා මහනුවරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවකු බව කියන ‘සමීර්’ නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ලේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකින් සැකසහිත බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක අංක 01 මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහිදී හෙළි වී ඇත්තේ අදාළ ගිණුමේ 2020 වසරේ රුපියල් මිලියන 8.2ක් හා 2021 වසරේ රුපියල් මිලියන 5.2ක මුදලක් සංසරණය වී ඇති බවය.

ගිණුමේ හිමිකරු වූ මාවනැල්ලේ පදිංචි මොහොමඩ් ආසික් නැමැත්තා අවස්ථා රැසකදී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙක් බව පොලීසිය පවසයි.

ඔහුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන් අතරින් බහුතරයක් මේවන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අය බවද අනාවරණ වී ඇත.

එම රැඳවූවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබුණේ මාවනැල්ලේ ‘සමීර්’ නමැත්තෙකුට ලබාදීම සඳහා අදාළ මුදල් ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ආසික්ට අයත් බැංකු ගිණුමට බැර කළ බවය.

මාවනැල්ල හා මහනුවර ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරු බව කියන ‘සමීර්’ නමැත්තා සහ ගිණුමේ හිමිකරු වන ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් අදාළ ප්‍රදේශවලට බෙදාහරින බවත් මත්ද්‍රව්‍යවලින් උපයාගත් මුදල් අදාළ ගිණුමට බැරකළ බවත්ය.

සැකකරුවන් දෙදෙනා අද (14) පස්වරුවේ මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයා රිමාන්ඩ්…..

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (14) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව සඳහන් කළේය.

පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය මෙම වසරේ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති අතර ඉතිරි ලක්ෂ දෙකක මුදල ඉල්ලා ගත් අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාළ සැකකරු එළැඹෙන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි…..

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13)  නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාරදුන්නේය.

ඉන් අනතුරුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙස විනිසුරුවරයා නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බව පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කළේය.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා අතර කාලසීමාව තුළ  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි…..

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි 10වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව ඉදිරිපත් කරන ලද තවත් නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවය.

එහෙත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් තම අධිකරණයේ පවතින නඩුව විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති නිසා එය විභාගයට ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය.

ඒ අනුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 10වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදා පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

සරණට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින දෙයි….

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ දී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් ජනවාරි 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හා සමාන තවත් නඩුවක් මේ මස 26 වනදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුකරයද එදිනට කැඳවන ලෙසත් නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි ජනවාරි 26 කැඳවන ලෙස නියෝග කළේය.

කොළඹ මහනගර සභා අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්….

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.

එදින සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර එතැන් පටන් දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂයෙන් තමන්ට නියම කළ බවත් ඇය සඳහන් කළාය.

එම ලිපිය තමන්ට ලැබුණේ ජනවාරි මස 02වනදා බවත් ඇය මෙහිදී කියා සිටියාය.

ඉන් පසුව පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් සිය විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේදී ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපියක් නිකුත් කෙරුණු බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කෙහෙළිය ඇතුළු සිවිදෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි…..

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙ වන විටත් අධි චෝදනා භාර දී ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය 14 හැවිරිදි පුංචි පුතු – මව සහ පියා රිමාන්ඩ්…..

කෑගල්ල දැරණියගල, නූරි පොලිස් බලප්‍රදේශයට අයත් නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන් පවතින අබිරහස හේතුවෙන්, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමොද් ජයසෙකර මහතා ඉදිරියේ අද (12) එම දේහය යළි ගොඩගැනුණි.

පසුගිය ජනවාරි 2 වන දින අදාළ පිරිමි ළමයා සිය මව සහ පියා සමඟ නිවසේ සිටියදී අබිරහස් ලෙස මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නූරි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ බැවින්, එම දරුවාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝග මත මේ වන විට කුරුවිට බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව පවසමින් ඔහුගේ ඥාතීන් සහ නූරි වත්තේ ජනතාව පසුගිය 06 වැනිදා වතුයායේ විරෝධතාවයක නිරත වූහ.

දරුවාගේ මරණය පිටුපස ඇති සත්‍යය අනාවරණය විය යුතු බවත්, විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු එහිදී බලකර සිටියහ.

මරණයට නිශ්චිත හේතුව සෙවීමේ අරමුණින්, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ අද සිරුර ගොඩගෙන වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති කර ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන තීව්‍ර කර ඇත.

අල්ලස් චෝදනා එල්ල වූ අධිකරණ රෙජිස්ටාර්වරයෙකුට දුන් තීන්දුව…..

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සැකකරු අද (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබා දී තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක තීන්දුව පරිදි භුක්තිය නිසියාකාරව භාරදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඩග්ලස් දේවානන්දාට ඇප….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ මහතා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහසේත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවත් විත්තිකරු තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.

එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.