හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්….

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවය.

මෙම විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිල්ල විසින් අධිකරණයට දැනූම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් පිරිස අද (09) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනුකෙරෙනු නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

වැලිසරට නව බන්ධනාගාරයක්…..

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඉතාලි පනින්න හැදූ කොණ්ඩ රංජි ඩුබායිහිදී අත්අඩංගුවට…

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර ඉතාලියට පලායාමට උත්සාහ කිරීමෙදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ විසින් මෙම සැකකරු සමග ඔහුගේ බිරිඳ හා දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව බිරිඳ හා දරුවන් මුදා හැර ඇත.

කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු වන බව සඳහන් වේ.

සැකකරු මේ වන විට ඩුබායි හි මූලස්ථාන පොලිසියේ රඳවා සිටී.

මේ අතර කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝල්ඩන් වීසා නොහොත් වසර 10ක් සඳහා වීසා හිමිකරුවෙකු බව ද වාර්තා වේ.

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්…..

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි. මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5ක් පමණ දුරකින් අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇති අතර, එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ කඳු මුදුනට ගමන් කිරීමෙන් අම්බුළුවාව විහාරයට ළඟාවිය හැකියි.

අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.

කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව අම්බුළුවාව සෑය නිර්මාණය කර ඇති අතර, මෙය අඩි 400ක් පමණ උසකින් යුතු බව පැවසේ.

මෙම සෑය ඉහළට නැගීම අතිශය ත්‍රාසජනත අත්දැකීමක් වන අතර, ඊට දෙස් විදෙස් සංචාරකයින් බොහේ සෙයින් කැමැත්තක් දක්වයි.

ගාල්ල අධිකරණ භූමියේ ගින්නක්….

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල කසල ගොඩක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව මේ වන විට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පොලිස් මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 225ක් අත්අඩංගුවට…..

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී  පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (07) දිනයේ සිදුකළ මෙහෙයුම් වලදී සැකපිට පුද්ගලයින් 597 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 225 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 460ක් වන අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෝටි 7ක කුෂ් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන් තොටේ දී මාට්ටු…..

රුපියල් කෝටි හතක් පමණ වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කරමින් සිටියදී අද (07) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙක් වන සැකකරු අවුරුදු 24ක ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු මෙම  ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 277 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 07.33ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ, කාබන් කොළ වල ඔතා වායුව කාන්දු නොවන ආකාරයට සකස් කර, එවැනි ඇසුරුම් 15ක් තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 070ක ප්‍රමාණය අසුරා ගෙන ඒවා මත රසකැවිළි අඩංගු පැකට් විශාල ප්‍රමාණයක් ද දමා සඟවා ගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි.

සැකකරුට මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු හඳුනන, දැනට තායිලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක විසින් මෙරටට රැගෙන ඒම සඳහා භාර දී ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය තොගය සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගියා ද කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්….

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි ‘නන්ද කුමාර් තක්ෂි’ සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරු සහ සැකකාරිය  අද (7) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනුවක් රඳවාගෙන සිටි මෙම සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට නවාතැන් පහසුකම් සැලසීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පැවසීය.

මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි සැකකරුවන් අමතමින් තමන්ට තුවාලවීමක් හිරිහැර සිදුවී තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් සැකකරු හා සැකකාරිය ප්‍රකාශ කළේ එවැනි කිසිවක් නොමැති බවය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් තවත් ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඇය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදාළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ‘ආනන්දන්’ නමැති සැකකරුවකුට දුරකථන ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසීය.

අදාළ අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් නීතිඥවරයා පැවසුවා.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන සැකකාරියක් සම්බන්ධයෙන් තමන් නියෝගයක් නිකුත් කරන්නේ කෙසේදැයි විමසීය.

තම අධිකරණයේ නොමැති සැකකාරියක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බව කී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ඒ අනුව පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරුවන් ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

සිස්ටම් චේන්ජ් වී කැකිරාව සති පොලේ උණුසුම් තත්වයක්. බදු මුදල අසාධාරණයි. ආණ්ඩු වෙනස් කළේ තවත් දුක් විඳින්න ද වෙළෙදුන් අසයි…

කැකිරාව ප්‍රාදේශිය සභාව යටතේ මෙතක් කල් පවත්වාගෙන ආ බව කියන කැකිරාව නගරයපවත්වාගෙන යනු ලබන සති පොල මෙවර ප්‍රාදේශීය සභාව මඟින් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයකුට ටෙන්ඩර් ලබා දිමට කටයුතු කර ඇතැයි ද ටෙන්ඩර්කරු විසින් අසාධාරණ ලෙස ඉහළ බදු මුදලක් තමන්ගෙන් එකතුකරන බවද කැකිරාව සතිපොල වෙළදුන් චෝදනා කරයි.
ඒ අනුව සතිපොල බදු අය කිරිමට පැමිනි ටෙන්ඩර් කරු ඇතුලු ⁣පිරිස අධික බදු මුදලක් තමන්ගෙන් අය කල බවද එය තමනට දරා ගැනිමට නොහැකි බවද පවසන වෙළදුන් වෙනත් සති පොලවල් වල එලෙස අසාධාරණ බදු මුදල් අය නොකරන බවද පෙන්වා දෙති.
මෙහිදි අද සතිපොල මුදල් එකතු කිරිමට පැමිණි පිරිස හා වෙලෙදුන් අතර තරමකඋණුසුම් තත්වයක්ද හට ගැනින.
මෙලෙස අසාධාරණ ලෙස බදු මුදල් අය කළ ද සතිපොළ වෙලෙදුන්ට අවශ්‍ය වැසිකිළී පහසුකම්හෝ සතිපොළ භූමියේ නිසි ලෙස නොමැති බවද එම වෙළෙදුන් පෙන්වා දෙති.
මෙහි වෙලදාමේ නිරත ඇතැම් පිරිස් දැනට වසර 40ක පමණ කාලයක සිට මෙම පොලෙහි වෙලදාම් කටයුතුවල නිරත වන බවද එම ඉතිහාසයේ මෙවැනි අසාධාරන බදු මුදල් අයකිරිමක් සිදු නොවු බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව සතිපොලෙන් අය කෙරෙන නව බදු මුදල් සදහා වෙලදුන්ගේ දැඩි විරෝධතාවයක් ද එල්ලවි තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ තම ව්‍යාපාරික කටයුතු වලට මෙලෙස අසාධාරන ලෙස බදු පැනවිම මගින් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවයි. එසේම මෙලෙස අසාධාරණ ලෙස අයකරන බදු මුදල සෘජුවම සභාවට හෝ රජයට නොලැබෙන බවත් එය තුන්වන පාර්ශවයක් වන ටෙන්ඩර්කරුගේ අතට පත්වන බැවින් මේ සදහා සාධාරනයක් ඉටුකරන ලෙසත්, තමන් මෙම රජයෙන් බලාපොරොත්තු වු සහනය මෙය නොවන බවත් වෙලෙ⁣දුන් පෙන්වා දෙති.
සතිපොල ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා පවසන්නේ එම බදු මුදල් අයතිරීම ප්‍රාදේශීය සභාවේ තීරණයක් අනුව සිදුකරන බවයි.
මෙම අවස්ථාවේ කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ බලය හිමි ජාතික ජනබල වේගයේ මංත්‍රීවරයකු වන නවරත්න බංඩාර මහතාද සති පොලට පැමිණී සිටි අතර ඔහුට ද මෙම අසාධාරණ බදු අයකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වෙළෙදුන් කටයුතු කරනු ලැබීය. වෙළෙදුන් හමුවේ ඔහු කියා සිටියේ තමන්ද එම අවස්ථාවේ ගැටළුව ගැන නොදන්නා බවත් තමන්ද බඩු ගන්න පොලට ආ බවයි. කෙසේ වෙතත් මෙවළදුන් පත්ව ඇති මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ස භාව දැනුවත් කරන බවටද මංත්‍රීවරයා එහිදී වෙළෙදුන්ට පොරොන්දු විය.
කැකිරාව සතිපොල වෙළදුන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩරය අහෝසි කර පෙර පැවැති ලෙස මෙම පොල සදහා ප්‍රාෙද්ශී්‍ය සභාව යටතේම පවත්වාගෙන යමින් බදු අය කිරිම ප්‍රාදේශිය සභාව මඟින් සිදුකර එම සමස්ථ බදු මුදල සෘජුවම රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට අයවන ලෙස කටයුතු කරන ලෙසයි.
වෙළෙදුන් පවසන්නේ මෙලෙස අසාධාරණ බදු මුදල අයකරන්නේ නම් ඉදිරියේදී සතිපොල ව්‍යාපාරිකයින් ලෙස තමන්ට ද දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවයි.