හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්….

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 16 වනදා දක්වා කල් තබා තිබේ.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

පියාට නින්ද ගොස් බිලිඳිය දෑතින් වැටී මිය ගිහින්……

පියෙකු තුරුලේ නැලවෙමින් සිටි බිලිඳියක් පියාට නින්දයෑම හේතුවෙන් ඔහුගේ දෑතින් වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් බිලිඳිය මියයෑමේ සිද්ධියක් අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි රුසේලි කෙයාශා නම් මාස දෙකහමාරක් වයසැති බිලිඳියකි.

ඒ අනුව බිලිඳියගේ පියාව අළුබෝමුල්ල පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිලිඳිය මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුවී ඇත්තේ හිසේ දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් සිරවීම බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මරණ පරීක්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර බිලිඳියගේ මව හා පියා කැඳවා ඒ සම්බන්ධයෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්ය.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතරවාරයේ දී මියගිය දැරියගේ පියා පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පසුගිය 06 වනදා තමන් රාත්‍රී වැඩමුරය අවසන් කර 07 වනදා උදෑසන 06.15 ට පමණ නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී දියණිය කාමරයේ ඇඳ මත තනිව සිටි බව දැක දරුවා අතට ගෙන මුළුතැන්ගෙට ගොස් පසුව නිවසේ ඉදිරිපස පුටුවක් මත වාඩිවූ බවය.

මඳ වේලාවකින් දරුවා හඬන්නට වු බැවින් තමන් පුටුවෙන් නැගිට දියණිය අතට ගෙන ඇවිදිමින් ඇය නැලවූ බවත් එම අවස්ථාවේදී නොදැනීම තමන්ට නින්ද ගොස් දියණිය තම අතින් ගිලිහි බිම වැටි ඇති බවත් තමන් එකවරම අවදි වුයේ දියණියගේ හැඬීමේ ශබ්දයට බවත් පියා පොලීසියට පවසා ඇත.

පසුව අසල්වැසියෙකුට කතා කර දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියබවත් අනතුරුව දරුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ළමා රෝහල වෙත එදිනම මාරුකර යැවූ බවත් එයින් දින තුනකට පසු දරුවා මියගිය බවත් තමාට ඇතිවූ බිය නිසා නිවසේදී සිදුවූ අනතුර කිසිවෙකුටත් නොකී බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.

ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්…..

ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් හා මරණකරුගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර රියදුරාට නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

2017 වසරේ ජූලි මස 8වනදා ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ අදාළ ලංගම රියදුරාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අදාළ චෝදනා සඳහා විත්තිකරු වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, දඩ සහ වන්දි නියම කර තිබේ.

එමෙන්ම විත්තිකාර ලංගම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි…

කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විමර්ශන සිදුකළ කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවු අතර එහිදි කුරුඳුවත්ත පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු 09 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස  දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 03 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කස්සප හිමි බන්ධනාගාරයෙන් දුන් දාන වේල ප්‍රතික්ෂේප කරයි….

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබුණි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ දහම් පාසල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් පසු විහාරාධිපති හිමියන් හා දායක සභාව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ඉකුත් නොවැම්බර් 16 වනදා පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ ඉඩමේ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබූ අතර පසුව එදින රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාව එම භූමියෙන් ඉවත්කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබූ අතර පහරකෑමට ලක්වූ බව කියමින් ස්වාමීන්වහන්සේ දෙනමක් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

ඇතිවූ විරෝධතාව මත පසු දිනම නැවතත් බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයේම තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

මෙවන් පසුබිමක ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත් නොවැම්බර් 19 වනදා සලකා බැලුණි.

එහිදී ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ගැටලුව සාමකාමී ලෙස විසඳාගන්නැයි අභියාචනාධිකරණය අදාළ පාර්ශ්ව වෙත දැනුම්දුනි.

මෙවැනි පසුබිමක ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි කැඳවා තිබුණි.

එහිදී අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

මෙහිදී සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව් නමද, සෙසු සැකකරුවන් පස්දෙනාද ජනවාරි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට වැඩ වරදියි…..

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩු සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුවය.

ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් විසින් සහල් රුපියල් 308, 275 සහ රුපියල් 280කට අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය සඳහන් කරයි.

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරියට කල්යයි…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි.

එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

පසුව 2023 වසරේ ජූලි 28 වන දින සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 37දෙනා දැඩි ඇප කොන්දේසි හමුවේ ඇප මත මුදාහැරුණි.

ඉන් අනතුරුව 2024 වසරේ පෙබරවාරි 12 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගක් නිකුත් කළේය.

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග….

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණි.

ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.

පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් බස් රථය ධාවනය කළ රියදුරු යළි රිමාන්ඩ්…..

අධික වැසි හේතුවෙන් රටපුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 ක් රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම පෞද්ගලික බස් රථයේ රියදුරා ජනවාරි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නොච්චියාගම මහෙස්ත්‍රාත් පී. ආර්. අයි. ජමීල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.

සැකකාර රියදුරාට එරෙහිව පොලීසිය එල්ල කර ඇති මිනි මැරුම් චෝදනා සහ මිනි මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරුගේ නීතීඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, එම චෝදනා යටතේම නඩුව පවත්වා ගෙන යෑමට ද තීන්දු කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගර ගතකර ඇත්තේ සාලියවැව ඉහළ පුලියන්කුලම බලගොල්ලාගම ලියද්දේ ගෙදර ධනෂ්ක කුමාරසිංහ නැමති බස් රථයේ රියදුරෙකි.

මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියදුරාට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියදුරාට එරෙහිව මෙම නඩුව පැමිණිල්ල විසින් පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයට කියාසිටියේ මෙම සිද්ධි දාමයට අදාළ කිසිවක් මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමේ චේතනාවකින් සිදුව නොමැති බවය.

ඒ අනුව සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවද ප්‍රකාශ කල නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අයැද සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කළ සියලු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

නීතිඥවරුන්ගේ එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කල මහෙස්ත්‍රාත්වරයා මිනී මැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව සැකකරුට එරෙහිව පවත්වා ගෙන යාමට තීන්දු කර තිබේ.

නීතිඥයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ සැකකරුට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් කල හැකි බවය.

පැමිණිල්ල වෙනුවෙන් රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ උපදෙස් මත සැරයන්වරුන් වන (28004) තිලක් සහ (71992) දිසානායක යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ දුෂාන්තිකා දිසානායක මහත්මිය පෙනී සිටියේය.

එමෙන්ම, අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්…..

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.