අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….

ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මේ වන විට මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මේ ආපදා අවස්ථාවේදී රටම එකට එක්ව සිටින අවස්ථාවේදී සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා රජය ප්‍රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බවත්, එහිදී සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකථන අංකයට හෝ ගුවන් තොටුපළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන් තොටුපළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කරදී ඇත.

චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්…..

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

මෝදර දේවාලයේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු එළියට….

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මහදුර ඉසුරු නැමැත්තෙකු වන අතර ඔහුගේ පියා කරන්දෙණිය සුද්දා විසින් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැත්තාව වෙඩිතබා ඝාතනය ඝාතනය කළේය.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීම සඳහා මෙම ඝාතනය සිදුකර තිබූ බවය.

ඉකුත් මැසි මස 4 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කළ මහදුර නලින් නැමැත්තාතේ පුත්‍රයාවන මහදුර ඉසුරු මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවටගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

ඝාතනයෙන් පසුව තමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි බවත් සැකකරු පවසා තිබේ.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට….

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වේ.

වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්…

වීථි සුනඛයෙකු මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප සමාජයේ කොතෙකුත් දැක තිබුණද තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් මෙවැනි තීරණයක් ලබාදීම ලංකා ඉතිහාසයේ සැබවින්ම වැදගත් සංධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.

පන්නිපිටිය විද්‍යාල හංදිය ප්‍රදේශයේ ජනතාවට ඊයේ (25) සුවිශේෂී දිනයක් වුයේ ඔවුන් ‘බ්ලැකී’ වෙනුවෙන් කළ ඉල්ලීමට මෙලෙස නීතියෙන් පිහිටක් හිමිවීම හේතුවෙනි.

පන්නිපිටිය විද්‍යාල හංදියේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වන කාගෙත් ආදරය දිනාගත් ‘බ්ලැකී’ වසර පහළොවක පමණ කාලයක් එම ප්‍රදේශයේ ජීවත් වූ වීථි බල්ලෙකි.

එම පටුමඟේ ජීවත් වන කාගේත් ආරක්ෂකයා වුයේත් ‘බ්ලැකී’ වූ නිසාවෙන්ම සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගැනීමට ‘බ්ලැකී’ සමත්ව සිටියේය.

තුන්වේලටම කන්න දෙයක් නිරන්තරයෙන්ම ලැබෙන ‘බ්ලැකී’ පටුමඟේ නිවසක් අසල නිදහසේ වැතිරී සිටින්නේ කිසිවෙකුගෙන් බාධාවක් නොවූ හෙයිනි.

සියලුදෙනාගේ ආදරය දිනාගත් ‘බ්ලැකී’ පසුගිය නොවැම්බර් මස 14 වන දින කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවී ඉතා අවාසනාවන්ත ලෙස මිය යන්නේ අලුබෝගහවත්ත පටුමඟේ ප්‍රදේශවාසීන්ගේ දෙනතට කඳුලක් එක්කරමිනි.

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ, එම රිය අනතුර සිතාමතා සිදුකළ එකක් බවටය.

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් සියලු වැඩරාජකාරි පසෙකලා නොවැම්බර් මස 16 වෙනිදා කොට්ටාව පොලීසියේ ‘බ්ලැකී’ ගේ මරණය වෙනුවෙන් පැමිණිල්ලක් ගොනුකළේය.

එයට සත්ත්ව සුබසාධන සංගම්ද මැදිහත් වී තිබූ අතර, දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

අදාළ නඩුව ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේ දී එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය දෙසැම්බර් මස 9 වනදා දක්වා මෝටර් රථය පැදවූ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට නඩුව යළි කැඳවීමටත් නියෝග කළේය.

අධිකරණය මඟින් මෙම තීරණය ලබාදීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සියලුදෙනා එක්ව ‘බ්ලැකී’ගේ නිසල දේහය තැන්පත්ව ඇති ස්ථානයේ ඉටිපන්දම් දල්වන්නට වුහ.

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ….

නායයෑමක් හේතුවෙන් වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යළි විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේදී වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කඳු හා ගල්පෙරළීමෙන් පසුගිය සෙනසුරාදා අනතුරක් සිදුවිය.

එහිදී පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව මාර්ගයේ ගමන් කිරීමේ දී පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙනතුරු නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණි.

ඒ අනුව දින 3කට පසුව අද පෙරවරුවේ මාර්ගයේ එක්මන්තීරුවක් යළි විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා අද දෙරණට සඳහන් කළේය.

මේ අතර පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගයට ගල් පෙරලු ස්ථානයේ පවතින අවධානම් සහිත අනෙකුත් ගල් ඉවත් කිරීමේ කටයුතු එළඹෙන 29වනදා යළි ආරම්භ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේය.

කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට….

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ පුද්ගලයින් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක් බැගින් වූ දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි….

පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවය.

ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.

එමෙන්ම තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.

ඉන් තත්පරයට ඝන අඩි 3,720 බැගින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්….

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවය.

එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට ත්ත්තපරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂා තත්ත්වය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මෙම ප්‍රදේශ ආශ්‍රිතව පහත්බිම් හරහා වැටී ඇති මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද සිදුකරන තිබේ.

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට…..

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (22) සවස් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.

පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරනලද  විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.