කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට අයෙකු අත්අඩංගුවට….

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පිහිටි ලඳු කැලෑවක සැකකරු සැඟව සිටියදී දෙල්වල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් රැසක් යොදවා සිදුකළ සෝදිසියකින් අනතුරුව සැකකරු අත්අඩංගුනට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවතුකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය 29 වැනිද දින කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එහිදී පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගිය 28 වැනි දින අදාළ ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බවටය.

පසුව ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමුවූ අතර පසුගිය 29 වැනි දින ඔහුගේ ජංගම දුරකථනයද එම මාර්ගයේම තේ වතුයායක තිබී සොයාගෙන තිබුණි.

එහිදී සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශනය කළ පොලීසිය අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර පතල් වළක තිබී ඊයේ (30) දිනයේදී සොයා ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන දෙල්වල පොලීසිය විසින් සිදුකරනු ඇත.

ගාල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කර දුම්රිය මැදිරි දෙකක ගින්නක්…..

ගාල්ල දුම්රිය ස්ථානය අසලදී භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 කි.

මේ වන විට අදාළ ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 03ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු දිවයිනට රැගෙන ඇවිත්….

විදේශ රටවල සැඟව සිටින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසයි.

ඔහු සඳහන් කර සිටියේ අද (30) දිනයේ මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංක හෙවත් ‘‘මිදි ගම චූටි‘‘ යන සැකකරුද ඊට අයත් බවය.

ඔහු මිනීමැරුම්, බරපතළ ගණයේ මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම්, අවි ආයුධ ජාවාරම්, ව්‍යාජ මුදල් ඡාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දරුණු ගණයේ අපරාධ ඇතුළු චෝදනා රැසකට වරදකරුවෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එෆ්.යු වුට්ලර් මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවය.

පවතින ජාත්‍යන්තර සබදතා හේතුවෙන් රතු නිවේදන නොමැතිව ද සැකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී අතර එලෙස සැකකරුවන් 13දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බවත්, පසුගිය 28වනදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනාද එලෙස රතු නිවේදන නොමැතිව රැගෙන ආ බවත් ඔහු පැවසීය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් 88ක් සඳහා මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවද මෙහිදී අදහස් දක්වමින් වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක අංශ, බුද්ධි නිලධාරීන්, සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්ද ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අනීතික ලෙස ඉන්ධන රැස් කරන පුද්ගලයින් සොයා දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් ඩීසල් ලීටර් 44,811ක්, පෙට්‍රල් ලීටර් 2,668ක්, භූමිතල් ලීටර් 2,062ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් 27දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව සඳහන්.

එමෙන්ම ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදය සම්බන්ධ වූ ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක් හොරෙන් උකස් කළ රංගන ශිල්පිණිය අත්අඩංගුවට….

නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුපියල් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් හිමිකරුගේ අවසරයකින් තොරව බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික මුල්‍ය ආයතනයක උකස් තබා රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවය.

ඒ අනුව, අද දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම රන් මාලය උකස් කර තිබුණද එය බේරාගෙන හිමිකරුට නැවත භාරදීමට හැකියාව පවතින බවය.

ඒ අනුව, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තවද, අදාළ රන් මාලය තලංගම පොලීසිය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.

මෙම නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියමිතයි.

හිටපු ජනපති ගෝඨාභයගේ මිරිහානේ නිවස අසල ඇති වූ සිද්ධිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්….

අරගලය පැවති සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල ඇතිවූ කලහාකාරී සිද්ධින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එම සිද්ධියෙන් තමන් තුවාල ලැබූ බව සඳහන් කරමින් ධනබාල සිංහම් සුභාකරන් නමැති පුද්ගලයකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දන්වා ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කලාකාරී සිද්ධියට අදාළව සැකකරුවන් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර මෙම පෙත්සම්කරු එක් සැකකරුවකු වශයෙන් නම්කර තිබෙන බවත් පවසා තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තව දුරටත් සිදුකරන බව කියා සිටි රජයේ නීතිඥවරිය එම විමර්ශනවලට අදාළ ඇතැම් ගොනු පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව දන්වා තිබේ.

කෙසේවෙතත් මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්මිසා ටීගල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් අවසර දී තිබෙන බවය.

කෙසේ වෙතත් මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 25 වනදා කැඳවන ලෙස නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින අදාළ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරියට නියම කර තිබේ.

අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි….

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඒ එම රථය පරීක්ෂාව සඳහා නැවැත්වීමට සංඥාකිරීමේදී එය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්ය.

වෙඩිතැබීමත් සමග මෝටර් රථය අනතුරට ලක්ව ඇති අතර සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

අනතුරුව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මහින්දානන්දගේ සහ නලින්ගේ කැරම්බෝඩ් නඩුවේ මුලික විරෝධතා ඉවතට….

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 39 ක් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය මෙලෙස තීන්දු කර ඇත.

මේ අතර අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ කළ ඉල්ලීම මත ඔහු එම නඩුවෙන් මුදා හැරීමටද අධිකරණය තීන්දු කර තිබේ.

මීට පෙර මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කළ ඔවුන්ගේ නීතිඥවරු සිය සේවාදායකයින් දෙදෙනා මේ හා සමාන චෝදන‍ෙවලට අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට වරදකරු වී සිර දඬුවමක් නියම වී සිටින බව සඳහන් කළේය.

ඒ අනුව එකම චෝදනාවකට මේ ආකාරයෙන් නැවත නඩු පැවරීම නීතියට පටහැනි බවත් ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ බව සඳහන් කළේය.

එහෙත් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ බව විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඉදිරිපත් කළ චෝදනා සංසන්දනය කිරීමේදී ඒවායේ සංඝටක එකිනෙකට වෙනස් බව අධිකරණයට නිරීක්ෂණ වුණේ යැයි සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව නීතිපතිවරයාට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාව තිබෙන බව සඳහන් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඉදිරිපත් කළ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට හැකි බවත් ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 26 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණ විසින් කළ නියෝගයකට අනුව වෙනත් නඩුවක් සඳහා සිරදඬුවම් නියම වී සිටින විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තබී සොයාගනී……

කහවත්ත, නීලගම ප්‍රදේශයේදී අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තිබී අද (30) හමුවී තිබේ.

කහවත්ත, නීලගම මාර්ගයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය 28 වනදා දහවල් කාලයේ දී මෙම මැණික් ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණි.

පසුව ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමු වූ අතර ඊයේ (29) දිනයේදී ඔහුගේ ජංගම දුරකථනය ද එම මාර්ගය ආසන්නයේම තේ වතුයායක තිබී සොයාගෙන තිබුණි.

ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත්කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු අත්අඩංගුවට……

රජයේ ඉඩමක් අධි ආදායම්ලාභී පුද්ගලයන් වෙත ගොවි පන්තිය යටතේ ලබාදීමට ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (30) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් තම ධූර බලය භාවිත කර ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත් කිරීම මගින් රජයට රුපියල් 10,625,000ක පාඩුවක් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම, මෙම ක්‍රියාව මගින් බාහිර පාර්ශ්වයකට අයථා වාසි ලබාදී ඇති බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කැබ් – ට්‍රැක්ටර් අනතුරින් අඹුසැමි යුවළක් මරුට….

මහියංගනය-ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය.

ගිරාඳුරු කෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක්, වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු, කැබ් රථ රියැදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී, තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණයට පත්වූවන් වයස අවුරුදු 57ක් සහ 44ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව හඳුනාගෙන තිබේ.

මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.