අන්තර්ජාල මුදල් වංචාවේ නිරතවී සිටි චීන්නු 16ක් මීගමුවේදී කොටුවෙයි….

මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් 16ක් සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලිසිය විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී මීගමුවේ පිහිටි ලැඟුම්හලකදී අදාළ සැකකරුවන් සමග පරිගණක සහ එම උපාංග තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.04.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පංචිකාවත්තේ දී කොටුවෙයි….

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710 ක් මිලිග්‍රෑම් 603ක්, හෙරොයින් ග්‍රෑම් 934 මිලිග්‍රෑම් 575ක්, හෑෂ් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 575ක් සොයා ගෙන ඇති බවද සඳහන් වේ.

එමෙන්ම මත්පෙති 300ක්, විද්‍යුත් තරාදියක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් 8,59,730ක මුදලක් හා ජංගම දුරකථන 06ක් ද අදාළ කාන්තාව සතුව තිබී සොයා ගෙන ඇත.

සැකකාරිය අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් – අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකයි….

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවනු ඇති බවය.

විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මෙම විශේෂ වැඩපිළිවෙළ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන අතර, අවුරුදු උත්සව සමය අවසන් වී ජනතාව නැවත ගම්බිම්වලින් නගර වෙත පැමිණෙන තුරු එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

“අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් දැනුම්වත් කරලා අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සැලැස්මක් යටතේ මහජනතාවට ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් 01 වෙනිදායින් පස්සේ ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් පළමු වෙනදා ඉදන් අවුරුදු අවසන් වෙලා ජනතාව ගම්බිම් බලා ගිහින් එනතුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.” 

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට….

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි වියේ පසුවන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරිවල නිරත රේගු නිලධාරීන් දැක බියට පත් ව ඇති අදාළ සැකකරු,  සිය ගමන් මලු අතහැර දමා පළා යාමට උත්සහ කර තිබේ.

එහිදී එම නිලධාරීන් විසින් සැකකරු නවතා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දුම්වැටි සොයා ගැනීමට හැකි වී ඇත.

ඔහුගේ ගමන් මලු තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 20,200ක් අඩංගු දුම්වැටි කාටූන් 101ක් සොයා ගත් බවද සඳහන්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු ක‍රයි.

අම්බලන්ගොඩ ව්‍යාපාරිකයකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – සම්පූර්ණ කතාව….

දකුණු පළාතේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ලලිත්සිරි හැළඹගේ මහතාගේ අම්බලන්ගොඩ, මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද අළුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මේවනවිට සක්‍රීය යුද හමුදා සේවයේ නිරත සහෝදරයන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසීය.

දකුණු පළාතේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ලලිත්සිරි හැළඹගේ මහතාගේ අම්බලන්ගොඩ, මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත.

ප්‍රහාරය එල්ලකරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

කෙසේවෙතත් අත්බෝම්බය පුපුරා නොගොස් ඇති ඒ සමග ප්‍රහාරය එල්ලකළ දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් තිබුණි.

එම අවස්ථාවේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ඇල්පිටිය කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සංග්‍රාමික යතුරුපැදි ඒ්කකය සැකකරුවන් පැමිණි  යතුරුපැදිය නවත්වන ලෙසට අණකර ඇතත් ඔවුන් එය නොතකා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසීය.

අනතුරුව පොලිසිය කිලෝමීටර 3ක පමණ දුරක් හඹාගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී  සැකකරුවන් සතුව තිබී තවත් අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

එකකුස උපන් සහෝදරයන් වන සැකකරුවන් සක්‍රීය යුද හමුදා සේවයේ නිතර අතර ඔවුන් මෙම අපරාධය සඳහා එක්ව ඇත්තේ නිවාඩු ලබාගෙන පැමිණ සිටි අතරවාරයේ බව පොලිසිය පවසයි.

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකුගේ රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය කොන්ත්‍රාත්තුවක් මත මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවත්, අත්තිකාරමක් ලෙස ඉන් රුපියල් 30,000ක් ගිණුම්ගත කර ඇති බවත් සැකකරුවන් අනාවරණ කර තිබේ.

ප්‍රහාරය කුමන හේතුවක් මත පදනම්ව සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සැකකරුවන්ගේ ඉලක්කය වූ ලලිත්සිරි හැළඹගේ මහතාගේ සහෝදරයන් දෙදෙනෙකු වන ගාලු ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැළඹගේ හා ධම්මික හැළඹගේ යන දෙදෙනාත් මීට පෙර ඝාතනයට ලක්වුණේ වෙඩි වැදීමෙන්.

අත්අඩංගුවටගත් යුද හමුදා සෙබලුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ සෘජු අධික්ෂණයෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට….

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම්යලදීය.

මීගමුව පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී, මීගමුව කලපුවේ ධීවර යාත්‍රාවක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1050ක් සන්තකයේ තබාගෙන සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඊයේ සවස පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් සුදන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 562ක් සන්තකයේ තබාගෙන සිටි 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම, හිඟුරක්ගොඩ පොලීසිය විසින් යාය 07 ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී, බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 1995ක් සන්තකයේ තබාගෙන සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි – ඇප මත මුදාහැරේ….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියේය.

චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එමඟින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ  ‘දුෂණය’ නමැති වරද කළ බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා තිබේ.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන තොරතුරු දිය යුතු නැහැ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක්…..

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනුව සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා බැංකුවේ ස්ථාවරය පිළිගනිමින්ය. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවලට අදාළ තොරතුරු ඉල්ලා තිබුණි.

එහිදී අදාළ ගනුදෙනුව සිදු කළ දිනයන්, ඵලදායිතාව, මිල ගණන් සහ ගනුදෙනුවලට අදාළ පාර්ශ්වයන් යනාදි සවිස්තරාත්මක වාර්තා සහිතව විස්තර ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඇතැම් පොදු තොරතුරු හෙළිදරව් කළ අතර වාණිජයම වශයෙන් සංවේදීවීම සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1) වගන්තිය යටතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයන් තුළට ඇතුළත්වීම යන පදනම මත ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කරන්න ලද්දේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1)(ඈ) වගන්තිය යටතේ දක්වා ඇති හෙළිදරව් කිරීම තුළින් තෙවන පාර්ශ්වයකට හානියක් විය හැකි වාණිජමය වශයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා පිළිබඳ ව්‍යතිරේඛය තුළට ඇතුළත් වන බවය.

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ උපායමාර්ගයන් නිරාවරණය වේ.

එමඟින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවල වෙළඳපොල සහභාගී වන්නන්ට සිය ලංසු පිළිබඳ පුර්වාපේක්ෂණයන් කිරීමට සහ උපායශීලී ලෙස සිය ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කර ඇත.

මේ හේතුවෙන් අවසාන වශයෙන් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදු වන අයුරින් සේවක අර්ථසාධක අරමුදලේ තරගකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවමවීමකට ලක්විය හැකි බව සිය අවධානයට යොමු කළ බව අධිකරණය පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධව මහබැංකුව වෙත පවතින භාරකාරීත්ව වගකීම එහිදී අධිකරණය විසින් අවධාරණය කරමින් අධිකරණය විසින් දක්වා සිටින ලද්දේ මෙවැනි සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ වෙළඳපොල ස්ථාවරත්වයට හානි සිදුවිය හැකි බවය.

එම අරමුදලේ මෙහෙයුම්වල විනිවිදභාවය වාර්ෂික වාර්තා කිරීම, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කිරීම සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය වැනි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගයන් හරහා සුරක්ෂිත කර ඇති බව අධිකරණය පෙන්වාදෙයි.

මහජන සුබසිද්ධිය පිළිබඳ ගැටලුවෙහිදී, අධිකරණය විසින් නිගමනය කරන ලද්දේ මෙම හෙළිදරව්ව කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ, සේවක අර්ථසාධක අරමුදලට සහ එහි සාමාජිකයන්ට සිදුවිය හැකි හානිය ඉක්මවා යන බව පෙන්වාදීම වගඋත්තරකරු අපොහොසත්ව ඇති බවය.

චමින්ද කුලරත්නගේ පෙත්සම් විභාගයේදී කථානායක වෙනුවෙන් නීතිපති අද පෙනීසිට නැහැ….

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් අද (27) නීතිපතිවරයා පෙනී නොසිටි අතර කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා  වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවය.

ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අධිකරණයට දැනුම්දුනි.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටය.

ඒ අනුව පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශ්වයට නියම කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර ඇත.

රුපියල් කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට….

සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරු සතුව තිබී හෙරොයින්, අයිස්, කොකේන් සහ මත්පෙති තොගයක් මෙලෙස සිය භාරයට ගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 565ක් ඇති බවද විමර්ශන නිලධාරින් වැඩිදුරටත් පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් අදාළ සැකකරුට ලබාදුන් ඒවා බවට තොරතුරු හෙළිවී ඇත.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.