වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට….

අද (31) පෙරවරුවේ වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට….

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ සැකකටයුතු මරණයක්…

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.

මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ.

එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, කළුතර දකුණ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙහිදී පොලීසිය විසින් සිදුකළ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මුහුදු වෙරළේ මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවටය.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 55 – 60  අතර වියේ පසුවන බවට සැකකරන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා බඳපටිය සහිතව කළු දිග කලිසමක් සහ සුදු මේස් බැනියමක් ඇද සිටින බව වාර්තා වෙයි.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට…..

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.

කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.

උද්දිකගේ නඩුවට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ගන්නැයි CIDයට නියෝග……

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩ් එල් සමරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත (සටහන්) ඉකුත් පෙබරවාරි මස 17 දින නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවය.

එහෙත් ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත වන තුරුත් නොලැබීම තුළ සිය සේවාදායකයාට ඉමහත් අගතියක් සිදුව ඇති බවය.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළ සිය සේවාදායකාගේ රාජකාරි වැඩ ද මෙම සිද්ධිය හේතුවෙන් තහනම් කර ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා එම නිසා නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ද මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප මත මුදා හැරින අධිකරණය මගින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා සහ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් මුල් අවස්ථාවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේද? යන්නයි.

මෙම වෙඩි තැබීම තුලින් තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥවරයා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනීමැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද? යන්න විමසා සිටියේය.

සිය සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ස්වාධීන මෙන්ම අපක්ෂපාති නොවන බවද ප්‍රකශ කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්වකීය රාජකාරි ජිවිතයේදී අතිශය සුවිශේෂි දස්කම් දක්වා වරින් වර ඉහළ නිලධාරීන්ගේ ප්‍රසංශාවට ලක්ව ඇති සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේශ සහගතව කටයුතු කර ඔහුට  අගතියක් සිදු කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර චෝදනා කළේය.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප…

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නැමැත්තෙකි.

ඒ අනුව ඔහු රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ 250,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය තීන්දු කළේය‍

තවද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊට ආදාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්….

දර්ගා නගරයේ දී නඩුවක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී කලහාකාරීව හැසිරුණු පුද්ගලයෙකුට අලුත්ගම පොලීසියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය පසුගිය 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී අදාළ සිදුවීම සිදුව තිබුණි.

ඒ අනුව, එම සැකකරු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කළේය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බවය.

අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ඊයේ (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

“අධිකරණය විසින්ම පැහැදිලි නියෝගයක් ලබාදුන්නා නීතිවිරෝධිව අනීතික ලෙස රැස්වීම පිළිබඳ විමර්ශනයක් සිදුකර ගරු අධිකරණයට ඊළඟ දිනයේ දී වාර්තා කරන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් සපයන්න නියමිතයි” යනුවෙන් හෙතෙම පැවසීය.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් සොයා හබරණ දී සොයා ගැනේ.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් අඩංගු පාර්සලයක් හබරණ පොලොන්නරුව මාර්ගයේ බෝක්කුවක් යට තිබී අද (25) සවස සොයා ගත් බව හබරණ පොලිසිය පවසයි.
මාර්ගය සුද්දපවිත්‍ර කිරීමේ රාජකාරිවල නිරතව සිටි මාර්ග සංවර්ධන අධීකාරියේ හබරණ කාර්යාලයේ කම්කරුවන් පිරිසක් කළ දැනුම්වත් කිරීමක් අනුව හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගෙන තිබේ.
හබරණ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. විමල් සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගත් බවත්, එම පාර්සලය තුළ තිබී මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06 ක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධීරණයට කරුණු වාර්ථා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. එහිදී අධීකරණයෙන් පොලිසියට ලත් නියෝගයක් අනුව එම බෝම්බ පතුරම් 06 නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, කුරුණෑගල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් හෙට(26) දින එම පතුරම් නිශ්ක්‍රීය කිරිමට හබරණ පොලිසිය කටයුතු යොදා තිබේ.
එම බෝම්බ පතුරම් අඩංගු පාර්සලය එම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමා ඇතිදැයි යන්න හා එම සැකකරුවන් කවුරුන්දැයි යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ. හබරණ පොලිස් ස්ථානය මගින් එම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන