බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල් ගත කරයි……

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ වැඩ අංගනයට හියුම් පයිප්ප බාමින් සිටි බූම් ට්‍රක් රථයකක් අධි බලැති විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මිල්ලනිය ප්‍රාදේශීය සභාවට අඹතලේ ප්‍රදේශයෙන් හියුම් පයිප්ප රැගෙන ඒමෙන් පසු, ගොඩබාමින් සිටියදී අද (29) මෙම අනතුර සිදුව ඇත.

බූම් ට්‍රක් රථයේ ඉහළ කොටස වෝල්ට් 33,000ක අධි බලැති විදුලි රැහැනක ගැටී ඇති අතර, එහිදී එහි ක්‍රියාකරු සහ ප්‍රාදේශීය සභා සේවකයෙකු පිළිසුම් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී රථය විදුලි රැහැන්වල ගැටීමත් සමග එහි ක්‍රියාකරුට මෙන්ම එම රථය අසල සිටි ප්‍රාදේශීය සභාවේ සේවකයාට විදුලි සැර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අවස්ථාවේ බූම් රථයේ ටයර් පුපුරාගොස් ඇති බවද සඳහන්ය.

දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට…..

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ, බඩල්ගල ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ සිදුවූ අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වූ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන්කර තිබේ.

එහිදී රියැදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 17ක්, කාන්තාවන් 14ක්, අවුරුදු 12 පිරිමි ළමයෙකු හා අවුරුදු 4 ගැහැණු දරුවෙකු සිටින බවය.

ඉන් බරපතළ තත්ත්වයේ පසුවන එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුවිය.

හිටපු ජනපති රනිල්ට ඊළඟ නඩු දිනයට පෙර අධිචෝදනා – දිලීප පීරිස්……

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවට අදාළ විමර්ශන කඩිනමින් අවසන්කර ඔහුට අධිචෝදනා ගොනුකිරීම හෝ ඔහුව නිදහස් කිරීම සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.

ඒ ඊට අදාළ නීති කෘත්‍යය අද විභාගයට ගත් අවස්ථාවේදීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, මීළඟ නඩු දිනට පෙර හිටපු ජනාධිපතිවරයාට නිශ්චිත වශයෙන්ම අධිචෝදනා ගොනුකරන බවය.

නිල සංචාරයකට බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය, විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා මෙලෙස කැඳවීය.

කෙසේ නමුත් එම අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා වෛද්‍ය වාර්තා කිහිපයක් අධිකරණයට යොමුකරමින්, සිය සේවාදායකයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් අද දින පෙනී නොසිටින බව දැනුම් දුන්නේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීය.

” ස්වාමිනි, මේ වෙද්දි මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම වගේ අවසන්. එක් කරුණක් සම්බන්ධයෙන් පමණයි තහවුරුකර ගැනීම අවශ්‍යවෙලා තියෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයට යවන ලද ප්‍රශ්නාවලියේ තිබූ කරුණු 11ටම අදාළව පිළිතුරු සහ ඇමිණුම් ඔවුන් මේ වනවිට එවා තිබෙනවා. 

ඒ පිළිබඳ තවදුරටත් රාජ්‍යතාන්ත්‍රීක මට්ටමින් තහවුරු කරගැනීම් සඳහා විධිමත් පියවර ගන්නවාද යන්න පිළිබඳ පමණයි තීරණයක් ගතයුත්තේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මේ දිනවල ලංකාවේ නැති නිසයි එය ප්‍රමාද වී තිබෙන්නේ”.

මෙහිදී විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශ ලබාගැනීම පිළිබඳවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණය කළේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 24 වනදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. 

ඇය කියන විදිහට 2023 ජුනි 15 වනදා වොල්වහැම්ටන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට ආරාධනාවක් ලැබී තිබෙනවා. පස්සේ ඇය එයට යන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී, සිය ස්වාමි පුරුෂයා වන එවක ජනාධිපතිවරයාගේ කියුබා සහ අමෙරිකා සංචාරයක් අතරතුර Transit එකක් විදිහට උපාධි ප්‍රදානෝත්වයට සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 

නමුත් ස්වාමිනි අපිට ප්‍රශ්නයක් තියෙනවා හිටපු ජනාධිපතිවරයාගේ ඔය කියන ප්‍රශ්නගත සංචාරය සිද්ධ වුණු සැප්තැම්බර් 22,23 කියන දවස් දෙකේම විශ්වවිද්‍යාලය කොහොමද උපාධි ප්‍රධානෝත්සවයට දින දැම්මේ කියලා. 

එහෙනම් ස්වාමිනි මේ පාර්ශව දෙක අතර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. මොකද පළවෙනි සැකකරු කියන්නේ මේක මහකොමසාරිස් කාර්යාලය හරහා ලද නිල ආරාධනාවකට අනුව සිදුවුණු ගමනක් කියලා. ඔහුගේ බිරිඳ කියනවා Transit එකක් කියලා. ඔවුන්ගේ ස්ථාවරයන් පරස්පරයි. 

මේක පැහැදිලිව Transit එකකට මුවාවෙලා ඇස්වහලා කරපු පෞද්ගලික ගමනක්. ඔය කියන උපාධි ප්‍රදානෝත්සවය 2023 සැප්තැම්බර් 23 සවස 2.10 ඉදලා 3.00 වෙනකල් විනාඩි 50ක වැඩසටහනක් ලෙස තිබිලා තියෙන්නේ. 

ඒ විනාඩි 50ට මෙරට මහජනතාවගේ මුදල් ලක්ෂ 162ක් වියදම් කරලා තියෙනවා. මෙතන පැහැදිලිව මහජන මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රබල නඩුවක් තියෙනවා. 

පළමු සැකකරුගේ බිරිඳවත් සැකකාරියක් ලෙස නම් කරනවාද යන්න පිළිබඳ අපි සාක්ෂි අධ්‍යනය කරමින් ඉන්නේ” යැයි පැවසීය.

අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීය.

“ස්වාමිනි අද මමනම් උසාවියට ආවේ අදින් මේ නඩුව ඉවර වෙයි කියලා හිතලා. මොකද පැමිණිල්ල මුලින් කිව්වේ වුල්වහැම්ටන්විශ්ව විද්‍යාලයෙන් ලද ආරාධනා පත්‍රය ව්‍යාජ එකක් කියලා. දැන් එම විශ්වවිද්‍යාලයෙන්ම ලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා එය සත්‍යයි කියලා.

ඊළඟට එම විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නිසා ආරාධනාව නිල ආරාධනාවක් නෙවෙයි කිව්වා. විමර්ශනයෙන් ඒකත් දැන් තහවුරුවෙලා තියෙනවා එය බ්‍රිතාන්‍ය රජයේ විශ්වවිද්‍යාලයක් කියලා. ඒ කියන්නේ ඒක නිල ආරාධනාවක්. 

ඔය කරුණු දෙක සනාථ වුණා කියන්නේ මෙතනින් එහාට නඩුවක් නැහැ. දැන් වංගු දම දමා මේක එක එක විදිහට කරකවන්න හදනවා”.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවය අරබයා සිදුකළ සංචාරයක් නොවන බවත්, අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල ආරාධනයකට අනුව සිදුවූවක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

“ස්වාමිනි හැමෝම කියනවා මගේ සේවාදායකයා බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ගියා කියලා. නමුත් ඇත්තටම වුණේ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ ස්වරාජ් පෝල්රාජ් සාමිවරයා උපකුලපති වශයෙන් 25 වසරක සංවත්සරය වෙනුවෙන් තිබූ සැමරුමටයි මගේ සේවාදායකයා සහභාගි වුණේ. 

ඒකට ආරාධනා කරපුවාම මගේ සේවාදායකයා කියලා තියෙනවා ඔහු කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයකට යනවා, ඒ අතරතුර සහභාගි වෙන්නම් කියලා. ඔහුගේ කීමටයි උත්සවය ඔය කියන දිනවල පැවැත්වුණේ. ඒ අතරවාරයේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයටත් සහභාගීවෙලා තියෙනවා”.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාගෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඔබ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයක් උපාධිධාරියාට පහසු දිනවල දාගත්තා කියලාද? “

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා,

“ඒ රටවල උපාධි ප්‍රදානෝත්සව එක් දිනයක් නෙමෙයි ස්වාමිනි තියෙන්නේ. දින 10ක් විතර පැවැත්වෙනවා. ඉතිං පුළුවන් දවසේ දාගෙන.”

මෙහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රශ්නගත සංචාරයේදී සිදුවී ඇති වියදම් පිළිබඳ සිය සේවාදායකයාට වගකීමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වගකිවයුතු බවය.

“ස්වාමිනි දැන් මේ සංචාරයේදී රුපියල් මිලියන 16ක් වියදම් කළා කියනවා. මමත් නිල ගමන් ගිහින් තියෙනවා ස්වාමිනි. ඒ ගමන්වලදී කව්ද කොච්චර වියදම් කරනවාද කියලා අපි බලන්නේ නැහැ. වාහනවලට මිලියන 03ක් ගියා කියනවා. 

නමුත් මගේ සේවාදායකයා ඒ වාහන භාවිතා කරලා නැහැ. වාහන දුන්නේ බ්‍රිතාන්‍ය රජයෙන්. ඊළඟට මිලියන දෙකක කෑවා කියනවා. මිනිහෙක්ට මාසයක් කන්නවත් එච්චර ගාණක් යන්නේ නැහැ. අනික ලන්ඩන්වල ඉඳලා තියෙන හෝටලයත් ලොකු හෝටලයක් නෙමෙයි”.

එම ප්‍රකාශයත් සමඟම කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ විමසුවා,

“හෝටලය පොඩියි කිව්වාට බිලනම් විශාලයි නේද?”

ඊට ජනාධිපති නීතිඥවරයා මෙසේ පිළිතුරු දුන්නා.

“ඔව් ගෙවලා තියෙනවා. නමුත් Internet එකේ Search කරපුවාම එච්චර බිලක් එන්නේ නැහැ. අපි කියන්නේ මෙතන ලොකු ලොකු ගණන්දාලා මුදල් කාබාසිනියා කරලා තියෙනවා. මෙතන හොරකමක් වෙලා තියෙනවානං මහකොමසාරිස් කාර්යාලය සහ ගමන් කටයුතු සංවිධානය කරපු Skywins කියන ආයතනයයි එකතුවෙලායි එක කරලා තියෙන්නේ. 

ඔවුන් ගැන විමර්ශනය කරන්න ඕනේ. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඔවුන්ගෙන් සාක්ෂි අරගෙන හරියන්නේ නැහැ.”

මෙහිදී අදාළ ගෙවීම් සම්බන්ධයෙන් දෙවන සැකකාර සමන් ඒකනායක මහතාට කිසියම් දෙයක් කීමට ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා කියා සිටියේ, එම ගෙවීම් සම්බන්ධයෙන් සිය සේවාදායකයාට කිරීමට කිසිවක් නොමැති අතර ඒවා විගණනයට ලක්ව ඇති බවය.

අනතුරුව විත්තියේ කරුණු දැක්වීම්වලට පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි පිළිතුරු දුන්නා.

“ස්වාමිනි, මට අහන්න තියෙන්නේ මෙතුමන්ලාගෙන් ‘Transit’ කියන වචනයේ තේරුම ඉගෙනගත්තේ කීයේ පන්තියේදීද කියලා. ඔය කියන විදිහට හිටපු ජනපතිට විවේක ගන්නද, ලන්ඩන් ඉඳලා කිලෝමීටර් 200ක් ඈතට ගිහිල්ලා, ආයෙත් කිලෝමීටර් 200ක් ආවේ?.

ඔය කියන විවේකයටද පැය 32කට මහජන මුදල් ලක්ෂ 162ක් වියදම් කළේ. අනික මේ දෙවැනි සැකකරු අහන්න එපැයි ලොක්කාගෙන් ඔච්චර වියදම් කළේ මොකටද කියලා. පළමු සැකකරුගේ නීතිඥවරයා කියනවා අපි හොයන්නේ බලන්නේ නැතුව වියදම් කරනවා කියලා. 

බංකොලොත් වෙලා තිබ්බ රටක එහෙම කොහොමද ස්වාමිනි මහජන මුදල් කාබාසිනියා කරන්නේ. මෙයාලා කියන විදිහට බ්‍රිතාන්‍ය රජයෙන් වාහන දීලා නැහැ. අඩුම තරමින් බ්‍රිතාන්‍ය රජයට දැනුම්දීමක් කරලා ආරක්ෂාව ඉල්ලාවත් නැහැ. එහෙම එකේ නිකං වාහන දෙන්න පිස්සුද?.

මේක පැහැදිලිව ස්වාමිනි සැලසුම් සහගතව පූර්ව සූදානමක් ඇතිවූ මහජන මුදල් රුපියල් ලක්ෂ 162ක් අවභාවිතා කිරීමක්.”

එම කරුණු දැක්වීම් අවසානයේ මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් මෙසේ ප්‍රශ්න කළා.

“නඩු දිනවලදී විමර්ශන ඉක්මන් කරනවා කරනවා කියලා පැමිණිල්ල කියනවා. ජනවාරි නඩු දිනයේ නියෝගයේ තියෙන්නේ අද දිනට පෙර විමර්ශන අවසන් කරලා අධිචෝදනා ගොනුකරනවා කියලා. ඇයි මේ විමර්ශන ප්‍රමාද?”

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ හිටපු ජනපතිවරයාගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම අවස්ථා දෙකකදීම කල් ගිය බවය. අවසානයේ විමර්ශන කඩිනම් කිරීමේ අරමුණින් විමර්ශන නිලධාරීන් ඉකුත් සතියේ නිවසටම ගොස්  ප්‍රකාශය ලබාගත් බවයි.

අධිචෝදනා ගොනුකිරීම ගැන දැනට අදහසක් ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, මීළඟ නඩු දිනට පෙර අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළා.

” වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයේ ලේඛනයේ නිර්ව්‍යාජත්වය මත මේක අපරාධයක්ද නැද්ද තීරණය වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් ලද ලිපිය තුළ ප්‍රශ්නගත සංචාරය ආරාධනයකට අනුව සිදුවූ බව තහවුරු වෙනවා. 

නමුත් එය මත එම ආරාධනය නිල ආරාධනාවක් බව තහවුරු වෙන්නේ නැහැ. නිල ආරාධනාවක්නම් රාජ්‍ය තාන්ත්‍රික විදිහට සිදුවිය යුතුයි. නමුත් එවැනි කරුණක් අධිකරණයේ මෙතෙක් අනාවරණය වී නැහැ. 

ඒ අනුව නඩුවේ පළමු සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව මේ අධිකරණයේ මතයයි. ඒකයි අධිචෝදනා ගොනුකිරීම ප්‍රමාදවීම ගැන අධිකරණය ප්‍රශ්න කරන්නේ. සංචාරයට අදාළව මුදල් ගෙවීම්, බිල්පත් ගැන විමර්ශනය කරන්න ඕනේ. එහිදී දෙවන සැකකරුගේ සාවද්‍ය මනස අනාවරණය වෙනවානම් ඔහුට එරෙහිවත් අධිචෝදනා ගොනුකරන්න පුළුවන්. 

පළමු සැකකරුගේ බිරිඳ සාපරාධි වරදක් කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට අධිකරණයට පෙනී යන්නේ නැහැ. කල්නොමරා කඩිනමින් විමර්ශන කරලා එක්කෝ අධිචෝදනා ගොනුකරන්න, නැත්නම් නිදහස් කරන්න. මීළඟ නඩු දිනය වනවිට නිශ්චිතව අධිචෝදනා පත්‍රයක් ගොනුකරලා ඒ පිළිබඳ අධිකරණයට දැනුම්දෙයි කියා බලාපොරොත්තු වෙනවා”.

ඒ අනුව විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජුලි 08 වනදා යළි කැඳවීමට නියමිතය.

ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි…..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා තිබේ.

අංග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන් වෙයි……

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින් සිටින අතරතුර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම සිදුවීම සම්බන්ධව අනාවරණය කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධවද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

“ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන්  කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ”

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ පෙත්සම් විභාගය අවසන්……

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමේ විභාගය අද (28) අභියාචනාධිකරණය හමුවේ අවසන් කර තිබේ.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, පෙත්සම්කාර ස්වාමීන්වහන්සේ විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ බලපත්‍රයට අනුකූලව අදාළ ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත්කර ඇති නිසා පෙත්සම්කරුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර පාර්ශවයේ දැනුම්දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවයි.

ඒ අනුව, පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්……

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මැයි මස 05 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට…..

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නැමැති වරද සිදු කිරීම මත සැකකාරිය අද (28) මෙලෙස එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වර්තමානයේ බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන තැනැත්තියකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.

රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට……

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුව අද (28)   සවස මෙලෙස අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

ඊයේ (27) උදෑසන බොරැල්ල පොලිස් වසමේ මැගසින් බන්ධනාගාරය තුලදී රැඳවියකු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර ජෙර්ලවරයෙකු හා නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසි දෙදෙනා අතරින් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසි දෙදෙනෙකු අප්‍රෙල් 25 වැනිදා  මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගින්ය.

ඒ අනුව සැකකාර චීවරධාරීන් පිරිස මේවන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කර අතර ඊයේ දිනයේදී ඔවුන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඉන් 19 දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවය.

මෙහිදී අත්අඩංගුවට පත් වූ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ චීවරධාරීන් තිදෙනා පමණක් මින් පෙර තායිලන්තයේ සංචාරයක නිරතව ඇති බවත් එහිදී ඔවුන් ඇතුළුව චීවරධාරීන් 12 දෙනෙකු පමණක් ඒ සඳහා එක් ව ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් විසින් රැගෙන ආ බව පැවසෙන මත්ද්‍රව්‍ය අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති අතර ඒ අනුව එම නිවසේ හිමිකරුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එළැඹෙන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු පමණ රැගෙන ඔවුන් තායිලන්තයේ සංචාරයක් සඳහා යෑමට සූදානමින් සිට ඇති බව වාර්තා වෙයි.

මෙරට සිට මෙම ජාලය මෙහෙය වූ බව කියන ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනුලැබූ අමිතාන්ද නම් චීවරධාරියා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් වූ දින අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සඳහා ගුවන්තොටුපලට පැමිණියත් , අනෙක් පිරිස අත්අඩංගුවට පත් වූ පසු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් යම්කිසි මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම ජාවාරම මෙරට සිටින ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකරන බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඒ අතරින් අයෙක් ‘හාජි’ නම් නමකින් හැඳින්වෙන පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.