උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම්……

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ද ස්ථානමාරුවීම් සහ පත්වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

සේවා අවශ්‍යතා මත මෙම පත්වීම් සහ ස්ථානමාරුවීම් ලබා දී ඇත.

මඩකලපුවේ පාළු ළිඳට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ කාන්තාවගෙන් පාපොච්චාරණයක්….

රන් භාණ්ඩ කොල්ලකා මඩකලපුවේ පාළු ළිඳකට දමා තිබියදී දිවි බේරාගත් කාන්තාව විසින් පාපොච්චාරණයක් සිදුකර තිබේ.

සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශන අනුව සිද්ධියට ඍජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ රන් ආභරණ මිලදී ගත් බව කියන තවත් දෙදෙනෙකු සහ ඖෂධහල් හිමිකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය 20වෙනිදා කාන්තාවක් පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ලකා ඇයව පාළු ළිඳක දමා ගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකට අනුව එම කාන්තාව බේරාගැණුන අතර එම ළිඳෙහි තිබූ කාන්තා මළ සිරුරක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

අදාළ දිනයේ දී තමා මුහුණදුන් බියකරු අත්දැකීම පිළිබඳ අනාවරණය කරමින් ඇය පවසා ඇත්තේ, ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තමාට බීම බෝතලයක් පානය කිරීමට ලබාදුන් බවය.

“පේපර් කටර් එකක් අරන් නගින්නේ ඇයි කියලා මම අහද්දි හරක්ට තණකොළ කපන්න කියලා කිව්වේ. ත්‍රිවිල් එක වෙන පාරක යද්දි මම ඇහුවා ඇයි මේ පාරෙන් යන්නේ කියලා. එතකොට කිව්වා අර නංවා ගත්ත තරුණයාව ඇරලවන්න කියලා. විනාඩි දෙකක් යද්දි මට සිහිය නැති වුණා.”

සජින් වාස්ට ඇප….

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කර තිබේ.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝගයේ සඳහන් වේ.

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව සැකකරු මුදාහරණ ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි අගෝස්තු මස 22 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2010 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු 2013 වසරේ මාර්තු මස 31 වන දා සිට වසරක් තුළ විදේශ සංචාර 30 ක පමණ නිරත වී තිබෙන බව සඳහන් කළේය.

ඒ සඳහා දැරු වියදම් පිළිබඳ තොරතුරු ඔහු විසින් ලබාදී නොමැති බවත් එම නිලධාරියා පවසා තිබේ.

සැකකරුගේ හා ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් හරහා විශාල ගනුදෙනු සිදුවී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා එම ගනුදෙනු පිළිබඳව බැංකු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම ගනුදෙනු දේශීය හා විදේශීය වශයෙන් සිදුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු පවසයි.

එහෙත් අදාළ මාස දොළහක කාලසීමාව තුළ විදේශ සංචාර සහ ජීවන වියදම් කටයුතු සඳහා මෙම සැකකරු විසින් රුපියල් මිලියන 52කට වැඩි මුදලක් වැය කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කර තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සේවා දායකයාගේ බිරිඳගේ ගිණුමේ රුපියල් මිලියන 39ක මුදලක් පවතින බව අල්ලස් කොමිසම සඳහන් කළ අතර එම මුදල්, දේපළක් විකිණීමෙන් තැන්පත් කළ මුදල් බවත් පැවසීය.

ඊට අදාළ බැංකු ලේඛනද අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා සිය සේවා දායකයාගේ වත්කම් බැරකම් ප්‍රකාශවල එම කරුණු ඇතුළත් කර ඇති බවත් පවසා තිබේ.

මෙහිදී දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබුණි.

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප……

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනාට සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට හා හිටපු ප්‍රවාහන කළමනාකරුට මීගමුව මහාධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

කොළඹ සහ කොළොන්නාව නගර සභා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්….

නීතියට පටහැනි ලෙස මීතොටමුල්ල “පොතුවිල් කුඹුර” නමැති භූමියේ කැලිකසළ බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොළොන්නාව නගර සභාව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නීතිඥ නුවන් බෝපගේ ඇතුළු අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ මීතොටමුල්ල පොතුවිල් කුඹුර නමැති භූමියේ කොළඹ නගරයේ රැස්වන කැලිකසළ බැහැර කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගත් බවය.

නීතියට පටහැනි ලෙස මෙම කැලිකසළ බැහැර කිරීම නිසා 2017 වසරේ අදාළ කුණු කන්ද පිපිරියාමෙන් විශාල ඛේදවාචකයක් හටගත් බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාළ ප්‍රදේශයේ නීතියට පටහැනි ලෙස කැලි කසළ බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ඊට අමතරව අදාළ ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට අවසර දීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකර ඇති බවත් තීන්දුවේ ප්‍රකාශ විය.

මෙම නීති විරෝධී කැලි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම තුළින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වේ.

එහෙත් මෙම කැලි කසළ කන්ද පිපිරියාමින් සිදුවූ ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908, 314,020.70 ක් වන්දි වශයෙන් ගෙවා ඇති නිසා මෙම නඩුකරවලට අදාළව වන්දි ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝග නිකුත් නොකරන බවත් තීන්දුවේ සඳහන් වේ.

කොළඹ මහනගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියා කලාපය හේතුවෙන් මෙවැනි බරපතළ තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි විය යුතු බව සඳහන් කළ අධිකරණය මෙවැනි තත්ත්වයන් මතු සිදු නොවීමට වගබලා ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම නඩු තීන්දුවේ 116 වන පරිච්ඡේදයේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු සිය නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

හිටපු ඇමතිවරයෙක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි……

1999 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඉවත දැමීමට තීන්දු කර තිබේ.

අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබුණි.

ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා පත්‍ර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2020 වසරේ නොවැම්බර් මස 20 තීන්දුවක් ලබාදෙමින් නීතිපතිවරයා විසින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

ඇපෑල ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අභියාචනාධිකරණයේ තීන්දුව දෝෂ සහගත බවය.

ඒ අනුව සියලු කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වැරදි සහගත බවය.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඉවත දමන බවත් නීතිපතිවරයාගේ අභියාචනය ගාස්තුවට යටත්ව පිළිගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට….

නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාළු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම යාත්‍රාව නාවික හමුදා භාරවට ගෙන ඇති අතර ඒ සමග සැකකරුවන් 6 දෙනෙකුද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 6 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කලාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර ඒ අනුව මෙම යාත්‍රාව සිය භාරගෙන ගෙන ඇති බවත් සඳහන් වේ.

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට අයෙකු අත්අඩංගුවට….

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පිහිටි ලඳු කැලෑවක සැකකරු සැඟව සිටියදී දෙල්වල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් රැසක් යොදවා සිදුකළ සෝදිසියකින් අනතුරුව සැකකරු අත්අඩංගුනට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවතුකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය 29 වැනිද දින කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එහිදී පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගිය 28 වැනි දින අදාළ ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බවටය.

පසුව ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමුවූ අතර පසුගිය 29 වැනි දින ඔහුගේ ජංගම දුරකථනයද එම මාර්ගයේම තේ වතුයායක තිබී සොයාගෙන තිබුණි.

එහිදී සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශනය කළ පොලීසිය අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර පතල් වළක තිබී ඊයේ (30) දිනයේදී සොයා ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන දෙල්වල පොලීසිය විසින් සිදුකරනු ඇත.

ගාල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කර දුම්රිය මැදිරි දෙකක ගින්නක්…..

ගාල්ල දුම්රිය ස්ථානය අසලදී භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 කි.

මේ වන විට අදාළ ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 03ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු දිවයිනට රැගෙන ඇවිත්….

විදේශ රටවල සැඟව සිටින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසයි.

ඔහු සඳහන් කර සිටියේ අද (30) දිනයේ මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංක හෙවත් ‘‘මිදි ගම චූටි‘‘ යන සැකකරුද ඊට අයත් බවය.

ඔහු මිනීමැරුම්, බරපතළ ගණයේ මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම්, අවි ආයුධ ජාවාරම්, ව්‍යාජ මුදල් ඡාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දරුණු ගණයේ අපරාධ ඇතුළු චෝදනා රැසකට වරදකරුවෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එෆ්.යු වුට්ලර් මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවය.

පවතින ජාත්‍යන්තර සබදතා හේතුවෙන් රතු නිවේදන නොමැතිව ද සැකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී අතර එලෙස සැකකරුවන් 13දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බවත්, පසුගිය 28වනදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනාද එලෙස රතු නිවේදන නොමැතිව රැගෙන ආ බවත් ඔහු පැවසීය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් 88ක් සඳහා මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවද මෙහිදී අදහස් දක්වමින් වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක අංශ, බුද්ධි නිලධාරීන්, සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්ද ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අනීතික ලෙස ඉන්ධන රැස් කරන පුද්ගලයින් සොයා දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් ඩීසල් ලීටර් 44,811ක්, පෙට්‍රල් ලීටර් 2,668ක්, භූමිතල් ලීටර් 2,062ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් 27දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව සඳහන්.

එමෙන්ම ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදය සම්බන්ධ වූ ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.