අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට…..

රුපියල් 129,600 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නැමති හමුදා සේවකයාය.

අල්ලස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින පුද්ගලයෙකුට ඔහුගේ විශ්‍රාම ණය මුදල් පියවීමට උදව් කළ හැකි බව පවසා සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවය.

පැමිණිලිකරුගේ ණය විස්තර ලබාගෙන ඇති සැකකරු, රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක් ලබා දෙන බව පවසා ඇත.

එම ආධාරය ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස පවසමින් අවස්ථා තුනකදී අල්ලස් වශයෙන් රුපියල් 129,600ක් මුදලක් බැංකු ගිණුමකට බැර කරවාගෙන තිබේ.

අනතුරුව, ලේඛන ගාස්තු වශයෙන් තවත් රුපියල් 13,457ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු පසුගිය (30) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍

මෙම නඩුවල තීන්දු අද (30)  කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන  ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබුණි.

ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි….

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

පොලිස් නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්….

2022 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, මෙම පහරදීම සිදු කළ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා විසින් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 15ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර ඇත.

එම මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින්  පහරදීම සිදු කළ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා විසින් ගෙවිය යුතු බව සඳහන් වේ.

තවද, සිද්ධියෙන් අනතුරුව පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීමට ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවත්, එමඟින්ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් අධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින්ද රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට නියෝග කර ඇත.

මෙම නඩුව ගම්පහ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විභාග කර ඇති අතර, විනිසුරු මණ්ඩලයේ එකඟත්වයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4ක් අත්අඩංගුවට…..

කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මගපෙන්වීම ලබාදුන් අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු හා පෙදරේරු උපදේශකයකු ද සිටින බව සඳහන්ය.

විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13 -18 අතර දරුවන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නක්ය.

එසේ නමුත් එහි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස සිදුකරන පහරදීම් දරාගැනීමට නොහැකිව, එම දරුවන් ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට දුරකතනයෙන් දැනුම්දී තිබේ.

ඉන් පසු ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යංශය හා පළාත් ළමා ආරක්ෂක නිලධාරින් වැලිමඩ පොලිස් නිලධාරීන් එක්ව අදාළ සහතික කළ පාසලට පැමිණ ඇත.

එහිදී ළමුන් ලබාදුන් කටඋත්තර මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලුතර කාර්යාලයේ ගින්නක්….

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ අද (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පරිගණක දත්ත පද්ධතිය ඇතුළත් කොටසේ මෙම ගින්න ආරම්භ වී ඇති බවයි.

ගින්නට හේතුව හෝ සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අක්කරේපත්තුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.

අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ගැසට් නිවේදන අනුව කීරි සම්බා සහල් කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබුණද, අදාළ වෙළෙඳසැල විසින් කිලෝ 2ක් රුපියල් 800කට, එනම් කිලෝ එකක් රුපියල් 400 බැගින් අලෙවි කර ඇති බව අනාවරණය විය.

මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වරද පිළිගත් වෙළෙඳසැල් හිමිකරුට මෙම දඩ මුදල නියම කර ඇත.

‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට……

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හෝමගම ගගන” නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්ය.

සැකකරු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 05ක්ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් “අංජු” නමැත්තාය.

සැකකරු හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ විය හැකි බවට සැක පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

තවද, ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොණ්ඩ රංජිත්” නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුර ලබාගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.

එම ජාලය හරහා මේ වනවිට සැකකරුවන් පස්දෙනෙකු සහ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් විසින් සිදු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස අප නියමකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.

ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.

ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගෙන තිබේ.

එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව ද සඳහන් වේ.

ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ දඹුල්ලේ අවන්හලකට ලක්ෂ 5ක දඩයක්……

කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවිකළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට, දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 510,000ක දඩ මුදලක් අද දින (29) නියම කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අදාළ අවන්හල, රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම එම ජල බෝතල් කල් ඉකුත්වී තිබී ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.