ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට….

විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට…..

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ.

සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් දිනකට පසුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික බවට තමන් දැනගත් බවය.

එතෙක් තමන් ඒ පිළිබදව කිසිවක් දැන නොසිටි බවද සැකකරු පවසා තිබේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බැකෝ සමන්ගේ වට්ස්ඇප් දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගිය බවය.

එහිදී බැකෝ සමන් විසින් ”අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස් කරගන්න ඕනා. මට ඒක කරලා දෙන්න පුළුවන් ද? යනුවෙන් සම්පත් මනම්පේරිගෙන් විමසා ඇති අතර ඊට ඔහු ”ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී” යනුවෙන් විමසා ඇත.

එහිදී බැකෝ සමන් ”එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි ”‍ යනුවෙන් සඳහන් කළ බව මනම්පේරි ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව සම්පත් මනම්පේරි තවත් පුද්ගලයෙකු සමඟ ගොස් අදාළ කන්ටේනර් දෙක සිය භාරයට ගෙන මිද්දෙණිය ප්‍රදේශයට ගෙනැවිත් තිබු අතර, ඊට අදාළ ලියකියවිලි බැකෝ සමන් විසින් සම්පත් මන්ම්පේරිට වට්ස්ඇප් ඔස්සේ එවා තිබේ.

ඊට සම්පත් මනම්පේරිගේ සහෝදරයෙකු වන පියල් මනම්පේරි නමැත්තාගේ ද සහාය ලැබී ඇත.

කෙසේවෙතත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බියට පත් සම්පත් මනම්පේරි සිය සහෝදරයා සමඟ එක්ව ඒවා වළ දැමීමට පියවර ගෙන තිබුණි.

පසුව තමන් මිද්දෙණිය ප්‍රදේශයෙන් පළා ගිය බව විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබේ.

ඒ අතරතුර ඔහු බැකෝ සමන් සහ දරූන් නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර කර තිබූ බව හෙළිව ඇත.

මේ අතර, සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ පැවති සබඳතා හෙළිකර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළත් තවමත් එය සොයා ගැනීමට හැකිව නැහැ.

ඒ සම්බන්ධයෙන් ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණි.

”‍සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චිවයට තියලා විනාශ කරලා දැම්මා”‍ යනුවෙන් මනම්පේරි පිළිතුරු දී තිබේ.

පොලිසිය පැවසුවේ බැකෝ සමන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම හා ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට සම්පත් මනම්පේරි පිළිගෙන ඇති බවය.

එමෙන්ම කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා තමන් විසින් ලබාදුන් ගිනිඅවි යොදාගෙන ඇති බවද සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ඔහු හිටපු අමාත්‍යවරුන් සමග සමීප සබදතා පවත්වා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඒ පිළිබදව ද විමර්ශන ක්‍රියාත්මකය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

රත්ගම දී මාරක අනතුරක්….

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය ගාල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ලක්ෂ 60ක් වටිනා රන් ආභරණ කොල්ලකෑ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට…

ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයක් ඔස්සේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17ක සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ද සොයාගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එකම ආයතනයක සේවය කළ දෙදෙනා අතර ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි…

පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (26) සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු  65ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව සහ සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇත.

ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් අදාළ කාන්තාවගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සීනිමෝදර සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 16 හැවිරිදි සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර…

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

ඒ 16 හැවිරිදි එම පුත්‍රයා අද (26) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරු ලබන මස 01 වැනි දින දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, අදාළ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවයට ගනු ලැබීය.

ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී එම පිරිස ලබන 29 වැනි දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලීසිය අවසර ලබා දී තිබුණි.

මත්කුඩු විකුණූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට….

ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා සිට ඇති බව සඳහන්.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) සොයාගෙන ඇති අතර, එම පැකට්වලින් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල සඟවා තිබී සොයාගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 27 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් ‘ඩුබායි තාරු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට මෙම බෙදාහැරීම් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

නාවලපිටිය – ශානක ප්‍රසාද්

තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් අයෙකු මරුට…..

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

මියගිය තැනැත්තාගේ පුත්‍රයාගේ බිරිඳ සමග ඇති වූ වෙඩි තැබූ පුද්ගලයා අතර පැවැති සම්බන්ධයක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට….

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය කාර්යාල කාමරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට අලෙවි කර ඇති බව පොලීසිය පැවසීය.

කැම්බල් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලේ අදාළ සේවකයාගේ කාර්යාලය පිහිටා ඇති අතර ඔහු එහි රිය සහයකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පසුගිය 22 වනදා ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විසි දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවෙයි….

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (22) සොයාගත් අතර එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.