චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී……

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් ඊයේ (03) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.

ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා පැවසීය.

චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් 27වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ පස්වන අදියර කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06වැනිදා නවතා දැමු බව සමූහ මිනිවළ කැනීම් නිලධාරීන් පැවසීය.

පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබු අතර, ඉන් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබිණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද කැනීම් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

ඒ තුළින් හමුවු අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨය භාරයේ තබා ඇති බවද සඳහන්.

නඩු තීන්දු ගැන ජනපති කළ ප්‍රකාශයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විමර්ශනයක් ඉල්ලයි…..

මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් සිදු කරයි.

ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව අගතිගාමී ප්‍රකාශයක් සිදු කළ බව එම සංවිධානය පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ ඉමහත් ආන්දෝලනයක් නිර්මාණයවී ඇත.

මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය ප්‍රකාශයක් නොව දින වකවානු ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිව පෙනී යන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් – ළමුන් දෙදෙනෙකුත් ඒ අතර……

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බවත් ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්, එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, කුඩා ළමුන් දෙදෙනාගේ මරණ වාර්තා වුයේ කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් බවය.

මේ අතර මෙම වසරේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වී තිබේ.

කඩින් කඩ ඇතිවන වර්ෂාපතනය සහ අවට පරිසරයේ මරුදුරවන් බෝ වීමට ඇති පහසුව හේතුවෙන් මෙම ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය ඉහළ යන බවත් ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහඵ යන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ……

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කළේය.

අකුණුසැර වැදී කාන්තාවක් මරුට – තවත් අයෙක් රෝහලේ……

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණුසැර වැදීමෙන් එහි නේවාසිකව සිටි එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කොක්වත්ත, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හලක සේවය කරන අයවලුන් බවත් ඔවුන් නේවාසිකව සිටින ස්ථානයේ රැඳී සිටියදී නිවසට අකුණු සැර වැදීමෙන් ‍මෙම අනතුරට මුහුණපා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරට පත් අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට……

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය.

ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුරගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවන්ගෙන් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා……

යල කන්නය සඳහා පොහොර ලබාදීමේදී ගොවීන්ගෙන් අයකළ ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරති.

මීට පෙර රුපියල් 50ක්වූ එම ගාස්තුව මේ වනවිට රුපියල් 300ක් දක්වා වැඩි කර ඇති බව ඔවුන් පෙන්වා දෙති.

මෙලෙස වැඩි කර ඇත්තේ, පොහොර කොළඹ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ගොවීන්ගෙන් මෙතෙක් අයකළ ගාස්තුවය.

එමෙන් පොහොර ලබාදීම සඳහා පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 9, 550ක මුදලක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මේ වනවිටත් අය කරගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ප්‍රමාණවත් පොහොර ලබාදීමට නොහැකි බවට කෘෂිකර්ම නියෝජ්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, වී වගාව සඳහා අක්කරයක් වෙනුවෙන් යූරියා කිලෝ ග්‍රෑම් 90ක් යෙදිය යුතු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ම නිර්දේශකර ඇති පසුබිමකය.

කෙසේවෙතත් ඒ සඳහා යෙදිය යුතු පොහොර නිසි ලෙස තවමත් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරති.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙවර යල කන්නය සඳහා වී වගාව ආරම්භ කර මේ වනවිට මාසයක පමණ කාලයක් ඉක්මවා තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සැමරූ උපන්දිනය පොඩියාගේ බව හෙළිවෙයි…..

රැඳවියන් පිරිසක් ගාල්ල බන්ධනාගාරයේ පැවැත්වු උපන්දින සාදයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වීඩීයෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කර ඇත්තේ, ගාල්ල බන්ධනාගාරයෙන් අදාළ සිදුවීම පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ කේක් කපමින් උපන්දින සාදයක් පවත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මෙම දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙයි.

අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නැමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නැමැත්තාගේ උපන්දිනය මෙලෙස සමරා ඇති බව අදාළ වාර්තාවල දැක්වෙන බව සඳහන් වෙයි.

රැඳවියන් පිරිසක් විසින් එම සැමරුම ඡායාරූප සහ වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යවලටද මුදාහැර ඇති බව සඳහන් වෙයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේ, මෙම සිදුවීම බන්ධනාගාරය තුළ සිදුවු සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සහ කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගාල්ල බන්ධනාගාර නිළධාරීන්ට දැනුම් දී ඇති බවයි.

අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ අයෙකුට පොලීසියෙන් වෙඩි……

ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී, පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ සැකකරුවෙකුට පොලීසිය අද (3) දහවල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධව චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් ස්ථානය තුළ තිබූ ජීප් රථයට නංවාලීමට ගිය අවස්ථාවේ, ඉන් එකට මාංචු දමා තිබූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස පලා යෑමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත.

සැකකරුවන් පොලිස් ස්ථානයේ ගේට්ටුවේ සිට මීටර් 75ක දුරක් දුවගොස් පලායාමට උත්සාහ කර තිබේ.

එහිදී පොලීසිය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් එක් සැකකරුවෙකුගේ දණහිසෙන් පහළ කොටසට වෙඩිවැදී ඇති අතර, ඔහුව ගල්ගමුව මූලික රෝහලට ඇතුළත්කර පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙලෙස පලායාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදී ඇත්තේ ගෝජරාගම, ගල්ගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බව වාර්තා වේ.

දරුවන් සමග කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු අතුරුදන්…..

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දියනෑමට පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචි  55 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු සිය දරුවන් සහ පවුලේ ඥාතීන් සමග දිය නාමින් සිටි අවස්ථාවේ, එකවර දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.