ජපාන යුද නැවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට….

කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් තිබේ.

ඒ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙනි.

ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව, හදිසියේ ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වෙත හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.

ඊට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එම රෝගියා  ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ එම මුහුදු ප්‍රදේශය‍ වෙත කඩිනමින් යොමු කෙරිණි.

ඒ අනුව, එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි….

අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.

පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, තමන්ට අදාළ දේපළ මිලදීගැනීම සඳහා මුදල් නොතිබූ බවය.

අනතුරුව පොඩි ලැසීගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, අදාළ නිවස මිලදීගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මතක නැති බවය.

නිවසේ පෙර අයිතිකරුද ප්‍රශ්න කිරීම් හමුවේ, තමන්ට ද මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බව පවසා ඇත.

ඒ අනුව වසර දෙකකට අධික කාලයක සිට කිසිවෙකුත් පදිංචිව නොසිටි අදාළ සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.

පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්…..

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයා සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් එම තීන්දුවේ සඳහන්ව ඇත.

අදාල පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සෝභිත රාජකරුණා මහතා 2019 මැයි 05 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන බව සඳහන් කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපාන හේතු එම සැකකරුට පොලිසිය විසින් දිය යුතු බවය.

එහෙත් වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු තමන්ට දැනුම් නුදුන් බව ඔහු කියා සිටියේය.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා මගින් දැනුම් දී තිබුණේ, ISIS සංවිධානයේ මතවාදය අනුගමනය කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙම පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් සඳහන් කර තිබුණේ පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  ප්‍රමාණවත් කරුණු පැවැති බවට අධිකරණය හමුවේ තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කරු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොරව තහවුරු කළ හැකි තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පෙත්සම්කරුවත් අත්අඩංගුවට ගෙන තිබුණත්, ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධීන්වලට අදාල තොරතුරු ඇතුළත් වී නොතිබූ බව අධිකරණය නිරීක්ෂණය කරන බවත් තීන්දුවේ සඳහන් විය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි….

ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට කටයුතු කළ කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.

ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා මෙම ආයතනයේ හිමිකරු විසින් රු.750,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවන ලදී. විමර්ශන නිලධාරීන් විසින් උපායදූතයෙකු යොදා ගනිමින් මේ රැකියා ජාවාරම පිළිබඳව කරුණු සොයාබැලූ අතර, එහිදී ජපන් භාෂාව පුහුණු කරන මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන යන බවත්, සුදුසුකම් නොමැති පුද්ගලයින්ට විශ්ව විද්‍යාල උපාධි සහතික හා අනෙකුත් අවශ්‍ය සහතික කූට ලෙස සකස් කරන බවත් අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කුරුණෑගල, මහව, දළදාගම හන්දියේ පවත්වාගෙන ගිය අදාළ ස්ථානය වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානය පරික්ෂා කිරීමේදී එහි තිබී ජපානයේ රැකියා ලබාදෙන බවට වූ ගිවිසුම්, මුදල් ලබාදීමේ කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා, ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක නිලධාරීන් භාරයට ගෙන ඇත.

ලැප්ටොප් පරිගණකය පරික්ෂා කිරීමේදී විවිධ පුද්ගලයින්ගේ නම්වලට ව්‍යාජ ලෙස සකස් කරන ලද ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල සහතික, ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනවල සේවා සහතිකවලට සමානව සකස් කරන ලද ව්‍යාජ සේවා සහතිකවල ආකෘති හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරන ලද අතර, එම යුවළට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, නීති ක්‍රියාත්මක කිරිමේ නිළධාරී ශ්‍රිනිකා කරුණාරත්න යන නිලධාරීන් සහභාගී විය.

වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා…..

නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ නාඳුනන තුවක්කුකරුවෙකුට, එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබේ.

පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ අලව්ව, අලුත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ, කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි “පෙත්තා” නැමැති අයෙකු තමාගෙන් ලබාගත් රුපියල් තිස්දහසක ණය මුදලක් යළි ලබාදීම සඳහා සිය නිවසට පැමිණි බවත් එහිදී ඔහු සමඟ පැමිණි නාඳුනන පුද්ගලයා තමාට වෙඩි තැබීමට උත්සාහ කළ බවත් ය.

එමෙන්ම එම අවස්ථාවේදී තමා සිය නිවසේ තිබූ පුටුවකින් සහ කැත්තකින් ඔහුට පහර දී පන්නා දැමූ බවත් පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පහර කෑමට ලක්වූ එම පුද්ගලයා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 4ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවය.

සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු සැඟවී සිටි නිවසක හිමිකරු අත්අඩංගුවට…..

අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

අද (26) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොනරාගලදී ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් සඳහා පෙනී සිට ඇති බවයි. එබැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී සැකකරු අනෙක් වෙඩික්කරුට “බුද්ධික මගේ නඩු දෙකට පෙනී හිටපු නිසා මාව අඳුරනවා” යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.

අනතුරුව, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පසෙක නවතා, නීතීඥවරයා ආසන්නයට පැමිණීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කළ බවද සැකකරු පවසා ඇති බව සඳහන්ය.

තවද, බූස්ස බන්ධනාගාරයෙ හි හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරීම සඳහා “කරන්දෙණියේ සුද්දා” නමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තමන් වෙඩි තැබූ බවද සැකකරු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ “ලලා” නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගිය බවත්, ධම්මික මහතාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේ තමන් බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම, දකුණු පළාතේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්ද තමන් සම්බන්ධ වූ බවට සැකකරු හෙළිකර ඇතැයි වාර්තා වේ.

මේ අතර, ප්‍රහාරයට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද ලැබී ඇත. එම දර්ශනවල දැක්වෙන්නේ, මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් “ජානක” නමැති පුද්ගලයා විසින් සැකකරු අදාළ ස්ථානයට රැගෙන එන අයුරුය.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන හෙළිකරගත් කරුණු….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙඩික්කරු අම්බලන්ගොඩ දෙල්දූවේදී ඊයේ (21) ප.ව. 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මොහු බවට සැකකරන අතර, 46 හැවිරිදි ඔහු සුනිල් රංජිත් නම් 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔහු අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත, හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේම විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු පවසා තිබේ.

දැඩි මත්ලෝලියෙකු වන සැකකරු ‘කරන්දෙණියේ සුද්දා’ සමග සෘජු සබදතා ඇති අයෙක් බව පොලීසිය පැවසීය.

මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පවසා ඇත.

ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද පොලිසියට පවසා තිබේ.

එමෙන්ම ඔහුට මින් පෙරත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව සැකකාර වෙඩික්කරුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය මේ වනවිට අවසර ලබාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අද (20) අවසර ලබා ගෙන ඇත.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා මෙම පුද්ගලයාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්…..

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.

මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක්….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට ප්‍රමාණවත් කරුණු නොමැතිව තිබියදී බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) ප්‍රකාශ කර තිබේ.

නිල සංචාරකට මුවාවී පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

ඒ නඩුවේ පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකී වරද සිදුකිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහාය.

අනතුරුව, දින 21ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

” මෙම නඩුවේ දෙවැනි සැකකරු වන මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනාව තමයි රාජ්‍ය නායකයා විසින් සිදුකළ බවට සැකකෙරෙන මූල්‍ය වංචාවක් අනුමත කිරීම තුළින් ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පළමු සැකකරු සිදුකළ වරදට ආධාර අනුබලදීම. 

මෙම නඩුවේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරු රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න තහවුරු කරගැනීමකින් තොරව, හුදෙක් පහළ නිලධාරින්ගේ තීරණ මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අනුමත කර ඇති බව පෙනීයනවා. ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස එසේ කරනවානම්, ඉන් පහළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ විශාල ගැටලුවක් පැනනගිනවා. මුදල් දුලබ කාලයක එම අනුමත කිරීම සිදුකිරීමේදී ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බැලිය යුතුව තිබුණා. එය අත්හළ නොහැකි වගකීමක්. එබැවින් මෙම සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වනවා. 

කෙසේ වුවද, මෙම නඩුවේ සමස්තය පිළිබඳ අවධානය යොමුකිරීමේදී දෙවැනි සැකකරුට වඩා වැඩි වගකීමක් පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එසේ තිබියදී මෙම අධිකරණයේ පූර්වගාමි විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා. එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය වන්නේ නැහැ. එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැහැ. එම ඇප නියෝගය නිකුත් කිරීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තාද අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ වෛද්‍ය වාර්තා නොවේ. එබැවින් පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව මා නිරීක්ෂණය කරනවා. 

රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වියයුතුයි. නීතිය පළමු සැකකාර ජනාධිපතිවරයාට සහ දෙවැනි සැකකාර ජනාධිපති ලේකම්වරයාට වෙනස්වන්න බැහැ. එබැවින් මෙම තත්ත්වය මෙම සැකකරුට ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. සැකකරු රුපියල් මිලියන 20ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කරනවා. “

අනතුරුව නීති කෘත්‍යය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු වාර්තා කළේය.

” ස්වාමිනි, ඔබේ අධිකරණ නියෝග ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ප්‍රශ්නාවලියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ. එවැනි තත්ත්වයක ඊයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් යනවා වුල්ෆ්හැම්ටන් වාර්තාව ලැබුණා, මේ නඩුව සුණු විසුණු වෙලා ගියා කියලා. ස්වාමිනි, මේ නඩුව ඉදිරියට යන්න තියෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට. එහෙම තියෙද්දි යම් පිරිසක් සංවිධානාත්මකව උත්සාහ දරනවා සමාජයේ මානසික භීෂණයක් හදලා, සාක්ෂිකරුවන් සාක්ෂිදීමට නොපැමිණෙන තත්ත්වයක් හදන්න. උසාවියේ කතා නොකරන එළියේ කතා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන නීති විශාරදයෝ ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නෛතික පියවර ගන්නවා.”