බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය කළේය.

පද්මේගේ රු මි 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට….

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

රුහුණේ කෘෂිකර්ම පීඨයේ සිසු ගැටුමක්….

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර පසුව එය සමථයකට පත්වී ඇත.

කෙසේවෙතත් අද (20) දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මේ වනවිට අදාළ ගැටුමට සම්බන්ධ සිසුන් කඹුරුපිටිය පොලීසියට ගෙන්වා විමර්ශන සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන තවත් තොරතුරු එළියට…..

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරුට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු පසුගිය 17 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වයස අවුරුදු 38 ක් වන හුංගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු වේ.

ඔහු සන්තකයේ තිබී ටී – 56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 63ක්, පතරොම් ගැබ් 02ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි අවි 02ක්, බෝර 12 වර්ගයේ පතරොම් 25ක්, රිවොල්වර් වර්ගයේ පතරොම් 34ක්, ටිපර් රථයක් හා කැබ් රථයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

කෙසේවෙතත් සිදු කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ අදාළ ටිපර් රථය හා කැබ් රථය ලබා දී ඇත්තේ ද රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් බවය.

ඉෂාරාගෙන් තවත් ආන්දෝලනාත්මක තොරතුරු එළියට…..

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවය.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

”කොහොම හරි ඌ ලව්වා වැඩේ කරගන්නා” ලෙස තමන්ට පද්මේ පැවසූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තමන් ඔහු සමග සමීප සබඳතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙය වූ බවද ඉෂාරා පවසා තිබේ.

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් කිසිඳු මුදලක් ඒ සඳහා ලබා නොගත් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වේ.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබරවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා තිබේ.

අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස වෙත ගොස් ඇත.

එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ, අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

එමෙන්ම එහි රැඳී සිටි ඇය, මැයි 6 වැනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවැති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

ඒ කාලය තුළදී තමන් කිසිඳු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවත් ඇය පවසා තිබේ.

මේ අතර ඉෂාරා සෙව්වන්දි අද දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතැන්ගෙන සිටි මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට ද ඇයව රැගෙන ගොස් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, ඇයට නවාතැන් ලබාදුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දොඩංගොඩ නිවසේද නවතැන් ලබාදුන් පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ ඇයට නවාතැන් ලබාදුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එම කාන්තාව හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සේවකයාගේ බිරිය බව පොලිසිය සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.

දිවයිනේ මෙතක් එකවර අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය.සමග ඒවා කෝටි 30කට අලෙවි කිරීමට ගිය සැකකරුවකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට.

රැපියල් කෝටි 30කට ගජමුතු තොගයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී අද(17) අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනේ මෙතෙක් එක්වර අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම ගජමුතු තොගය ද මෙය බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධී අංශයෙන් ලැබී තිබූ තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට අදාළ සැකකරු හදුනාගෙන ඔහු ඇසුරු කරමින් ඔහුගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වනජීවී නිලධාරීන් සංවිධානාත්මක මෙහෙයුම දියත් කර තිබිණ..
මහියංගය මාදුරු ඔය වනෝද්‍යානයට මායිම ඇති මහියංගනය ආදීවාසී ගම්මානයේදී මෙහෙයුම සිදුකර තිබිණ. ඒ අනුව , අද දිනයේ එම ගජමුතු තොගය මිලදී ගැනීම සදහා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතාගේ මූලිකත්වයෙන් වැටලීම සිදුකර තිබිණ.
ඒ අනුව මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියකු ලෙස වෙස් වලා ගනිමින් වනජීවී නිලධාරීහු මෙම ගජමුතු මිළ දී ගන්නා මෙහයුම සදහා එම ප්‍රෙද්ශයට ගොස් තිබිණ.
සැකකරු වෙස් වලාගත් වනජීවී නිලධාරීන්ට රැපියල් කෝටි 30කට මෙම ගජමුතු අලෙවි කිරීමට සැලසුම් කර ඇති අතර, අද දිනයේ සැකකරුට මුදල් පෙන්වා ගනුදෙනුව සිදුකිරීමට සූදානම්ව එවා අලෙවි කිරීමට කටයුතු කළ අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව අද(17) දිනයේ එම සැලසුම ක්‍රියාත්මක කරමින් මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියෙකු ලෙස වෙස් වලාගත් වනජීවී නිලධාරීහු පිරිසක් ගජමුතු මිළදී ගන්නා අයුරින් මහියංගනය ආදී වාසී ගම්මානය වෙත ගොස් අදාළ මෙහෙයුම සිදුකර එම සැකකරුගේ නිවසේදී අදාළ ගජමුතු තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මෙහිදී එම සැකකරු සන්තකයේ තිබී. දිවි හමක් ගෝරෝචන ඇත්දළ කොටස් මෙන්ම වටිනා කලුවර හා දඹ ඇතුලු ඉරෑ දැව කඳන් තොගයක් ද බඳින තුවක්කුවක් ද ඇතුළු සැකකරු සන්තකයේ තිබූ නීති විරෝධී තවත් දෑ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ වැට ලීමේදී සැකකරු සන්තකයේ තිබී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ගජමුතු තොගය රැපියල් කෝටි තිහකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් සැකකරු සන්කයේ තිබී ගජමුතු 30ක් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සැකකරු මහවනාවෙල දෙහිඅත්තකණ්ඩිය ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකි.
සැකකරු මෙම ගජමුතු හා ඇත්දළ ඇතුළු සත්ව කොටස් මෙන්ම දැව තොගය මාදුරු ඔය ජාතික උද්‍යානයෙන් සපයා ගන්නට ඇති බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති.
ගුවන් හමුදා බුද්ධී අංශ නිලධාරීන්ගෙන් ළත් තොරතුරක් අනුව, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න හා සහකාර (මධ්‍යම) එච්.ජී.වික්‍රමතිලක යන නිලධාරීන්ගේ උපදෙස් අනුව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ, අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, සම්පත් ගීත් රණවීර, එස් එම් අධීකාරි, ඇතුළු නිලධාරීන් පිරිසක් ද විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල් කටුව බීට්ටුවේ අඩවි සහකාර උදය කරුණානායක, මහියංගනය වසත්ව අඩවි කාර්යාලයේ වනසත්ව නියාමක ඩබ්ලිව් සඳරැවන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාර්ථක මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු ඉදිරි නීතිමය කටයුතු සදහා ගිරාදුරුකෝට්ටේ අලිපාලන ඒකකය වෙතු භාර දීමට වැටලීම සිදුකළ වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර එම සැකකරු හා නඩු භාණ්ඩ හෙට(18) මහියංගනය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරි පත් කිරීමට නියමිතව තිබේ.

කැකිරාව –  කුෂාන් ජයවර්ධන

වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට….

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඊයේ (15) ඒ මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය ඊයේ පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට….

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවය.

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට….

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.

වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ….

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කුරුණෑගල – බිමල්