එදා විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කරන්න ඉඩ දුන්නා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ – මහ බැංකු අධිපති

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව ලැබිය යුතු බව මේ වන විට ප්‍රයෝගිකව ඔප්පු වී ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බව දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ දේශපාලනඥයින් නොවන බවද, එම තීරණය ජනතාව විසින් පත් කළ පිරිස් ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට ගැනීමට සිදුවන්නේ නිවැරදි තීරණය නොව ජනප්‍රිය තීරණය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

2020 / 2021 වසරවල රජයේ බලපෑම මත බිලියන 6 ක සංචිතයන් බින්දුවට වැටෙන තෙක් විනිමය අනුපාතිකය රු. 203 අගයක පවත්වාගෙන ගිය බවද, පසුව එය අතහැර දැමූ බවද, ඉන් පසු මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සියලුදෙනාට දැකගත හැකිවූ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

එහිදී ද විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට කටයුතු කළේ නම් රට අද මෙවැනි තත්ත්වයකට පත් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

comment loading imageමහජන ප්‍රතිචාර

2022 වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.346 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු329.02ක් ලෙස හා විකුණුම් මිල රු.346.33ක් ලෙසයි අද (16) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ජනපතිගෙන් ණය හිමියන්ට සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.344 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.327.59ක් ලෙස හා විකුණුම් මිල රු.344.66ක් ලෙසයි අද (15) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.335.68 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.319.84ක් ලෙස හා විකුණුම් මිල රු.335.68ක් ලෙසයි අද (14) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

වෙළඳ ඇමතිගෙන් ආනයනකරුවන්ට ඉල්ලීමක්

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුවද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතියේ සීනි කිලෝවක් රු 25 – 30කින් අඩු වූ බවත් අල, ළූණු මිලද පහළ ගොස් ඇති බවත් මේ සති කිහිපය තුළ මිල අඩුවී පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිනොපෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බවත් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට එහිදී එම නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රත්‍රං මිල යළිත් ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව හෙට්ටි වීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (09) එහි මිල දැක්වුනේ රුපියල් 134,000 ක් ලෙසයි.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 173,000 ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ.

ඩොලරයේ මිලෙහි අද සුළු වෙනස් වීමක් පමණයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලෙහි අද (13) දිනයේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.82 ක් ලෙස හා විකුණුම් මිල රු.328.86 ක් ලෙසයි අද (13) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.