IMF ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් අනුමත කරයි

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට IMF අනුමැතිය හිමිවෙයි

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට තීරණය කෙරේ

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.349 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.331‍.71ක් ලෙස හා විකුණුම් මිල රු.349.87ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරය රු.200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනය කරනවා.

අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සිදුකළ කතාව උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, රට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4 ක කාල පරිච්ඡේදයක් තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි.

අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවද, එවිට ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්.

ලංකාවට ලබාදීමට නියමිත ණය IMF විධායක කමිටුව මඟින් අනුමත කිරීම අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වන්නේ.

එම මාධ්‍ය සාකච්ඡාව හෙට (21) උදෑසන පැවැත්වෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ආනයනික බිත්තර තොගය ඉදිරි දින කිහිපයේ දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ අතර අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව තිබෙනවා.

හංඟන්න දෙයක් නැහැ, IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මෙමඟින් විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට රජය සුදානම් බවයි.

IMF කියන්නේ ප්‍රතිහාර්ය පාන්න පුළුවන් විජ්ජාකාරයෙක් නෙමෙයි – ළහිරු වීරසේකර

ජනතාව සහ වෘත්තීය සමිති පාරට බැස විරෝධතා සිදු කරන්නේ විදුලිබිල වැඩිවීම සහ දරාගත නොහැකි බදු බර නිසා බව Youth for Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා.

එසේ වුවද ජනතා බදු මුදලින් නඩත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් එක්ව ගෙන යන වැඩවර්ජනයන් මර්දනය කළ යුතු බව ඔහු සඳහන් කරනවා.

IMF පිළිබඳව දැන් ආණ්ඩුව මන්ත්‍රයක් මෙන් මතුරමින් සිටින නමුත් IMF යනු ප්‍රතිහාර්ය පෑ හැකි විජ්ජාකාරයෙක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.350 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) නැවතත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු332.20ක් ලෙස හා විකුණුම් මිල රු.350.22ක් ලෙසයි අද (17) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.