දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව විවෘත කරයි..

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින විවෘත කරන ලදි.

වර්ග අඩි 14,000 ක වපසරියකින් යුත් මෙම ලංකා සතොස නව මෙගා ශාඛාව තුළ ආපන ශාලාව, බේකරි නිෂ්පාදන අලෙවි සැල, ධාන්‍ය අලෙවිසැල, කරවල අලෙවිසැල, මාංශ අලෙවිසැල, නැවුම් පළතුරු යුෂ අලෙවිසැල, නැවුම් එළවළු සහ පළතුරු අලෙවිසැල, අක්ෂි දෘෂ්ටි විශේෂඥ ස්ථානය (ඇස් පරීක්ෂා කිරීමේ ස්ථානය), ඔසු සැල, බැංකු ශාඛා, ඇඳුම් විලාසිතාගාරය සහ තවත් වෙළෙඳ සැල් ගණනාවකින් ද සමන්විත වේ.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවීන් වෙනුවෙන් ද මෙහි අලෙවි සැල් නිර්මාණය වී ඇති අතර රජයේ මූලික අරමුණක් වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ තුළ සුලභ කිරීම සහ අවම මිලක් යටතේ එම භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් නවීන වෙළෙඳ පොළ තත්වයන් අනුව පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු පාරිභෝගික ද්‍රව්‍ය එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවන පරිදි මෙම ලංකා සතොස exclusive ශාඛාව ඉදි කර තිබේ.

එමෙන්ම මෙම ලංකා සතොස exclusive බදුල්ල මෙගා ශාඛාව විවෘත කිරීමට සමගාමීව, බදුල්ල ප්‍රදේශයේ බෝගහකුඹුර ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල විවෘත කිරීමේ කටයුත්ත ද සිදු විය. ඒ අනුව බෝගහකුඹුර ප්‍රදේශයේ ජනතාවට ද සුපිරි වෙළෙඳ සැලක අවශ්‍යතාවය ලංකා සතොස ආයතනය විසින් ඉටු කර දී ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සංචාරක නියොජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් ද, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුලු බදුල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩන්ස්ටන් මාලගේ මහතා ඇතුලු ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ජාතික සතොස සභාපති කෝසල විල්බාව මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු විය.

 

රේගුව රඳවාගත් වාහන ගැන අධිකරණයෙන් නියමයක්…

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයාබලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා රේගුවට නියම කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15ක් පමණ අද සලකාබැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පොදුවේ අධිකරණය හමුවේ අවධාරණය කළේ, තම සේවාදායකයින් විසින් ආනයනය කළ මෙම වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

මෙම වාහන සියයට 35ක අධිභාරයකට යටත්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පෙත්සම්කරුවන් සියලුදෙනා තරයේ විරුද්ධ වන බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙම වාහන ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ රේගුව විසින් අනුමත රෙගුලාසි හා ගැසට් නිවේදනවලට අනුකූලව බවත් ඒවා රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙහිදී පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන දිගින් දිගටම රේගුව විසින් රඳවා ගැනීම නිසා තම සේවාදායකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි සඳහන් කළේය.

මෙම වාහන අනාරක්ෂිත ආකාරයෙන් රේගුව තුළ රඳවා තිබෙන බවත් මේ හේතුවෙන් ඒවාට අව් රශ්මියෙන් මෙන්ම වෙනත් බාහිර සාධකවලින් හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වාදුනි.

මෙසේ සිදුවන හානිවලට රක්ෂණ වන්දි අය කරගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම වාහන පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරු මඩුල්ල, ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට පෙන්වා දුන්නේ මෙම වාහන මුදාහැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සියයට 35ක අධිභාරය පැනවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමථයක් ඇති කරගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසය.

ඒ අනුව මෙම නඩුකරවල පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් සංවිධානය කර මෙම ගැටළුව සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුනි.

එමෙන්ම මේ වනවිට රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් විමසා ඒ පිළිබඳව ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සියල්ල සලකාබැලීම සඳහා ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය දින නියම කළේය.

එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාවයි – ජනපති….

මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බව නාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගොඩනැඟෙන ආර්ථිකයෙහි, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට අද (28) පස්වරුවේ ටෝකියෝ හි  Reiyukai ශාලාවේදී එක් වෙමිනි.

එමෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහු පැවසුවේ ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසටය.

ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

තවදුරටත් ආර්ථිකයේ සහ වෙළෙඳපොළ තුළ ජාතික සීමාවන් නොමැති ලෝකයක, රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම රට ඉදිරියට ගෙන යාමට නම් ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට තුළ කිසිඳු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක්වන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලුදෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ආයතන 457ක නියෝජිතයින්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්…..

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

ලබන ඔක්තෝබර් මස 02 වන දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර ඇත.

මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරය සභාව හෙවත් කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457ක් අයත් වන අතර එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒ වායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලිකව තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඔක්තෝබර් මස 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස ඉක්මවයි….

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379කි.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 37,179කි.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.

ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ තිබේ.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් බවත් එම අධිකාරියේ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද  ලෙසින් සංචාරකයින් වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ.

සියලුම බදු ගෙවන්නන්ට දැනුම්දීමක්….

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත.

මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළය.

එමෙන්ම ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන බව සඳහන් කරමින්, භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් සඳහා පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවය.

tax

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

2026 විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් කරනු ලැබීය.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමෙන් ලැබෙන වාසි ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්….

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේ කොළඹ පැවති සමුළුවකදිය.

සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරමින් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඇතුළු කරුණු අරමුණු කරගත් ෆින්ටෙක් 2025 සමුළුව අද පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදෙන පියවරක්. එම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව, දෙවැනුව වාණිජ බැංකු, පාරිභෝගිකයින් ඒ කියන්නේ ජනතාව අයත්වනවා. මූල්‍ය සේවා හෝ අවම වශයෙන් ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල්කරණය තුළින් මුදල් මුද්‍රණය සඳහා පිරිවැය අඩුවී මුදල් ඉතිරියක්ද සිදුවනවා. එහිදී මහ බැංකුවට එම ප්‍රතිලාභ ඉදිරි තලයට ලබාදිය හැකිවේවි. වාණිජ බැංකු මගින් ඩිජිටල්කරණය සඳහා සිදුකරන ආයෝජන ඉහළ ප්‍රතිලාභ හිමිකර දෙන බව කිව යුතුයි. මුදල් හුවමාරු සහ මුදල් පරිපාලනය ඉන් පහසුවනවා වගේම පිරිවැය අඩුකරනවා. මම හිතන විදිහට එයින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයින්ට. බැංකුවට නොගොස් ගනුදෙනු කරන්න එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට තමයි මෙහිදී වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ”

වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ….

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්  දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා.  මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “ඩොලර් මිලියන 1570ක්.  සැප්.16 වෙනකම්.”

මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ වුණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය – “මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ.” 

මේ අතර විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුව ඇති පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි මෙහිදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් – “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – “අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන” 

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.