ජනවාරියේ සිට ජල ගාස්තු ඉහළට

ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහල නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03 කින් (3%) පමණ ඉහළ යන බවයි එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත පවසන්නේ.

ජනවාරි 1 සිට මත්පැන් මිල ඉහළට

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

එසේම 180ml බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීය ටින් මාළු, අර්ථාපල්, රතු කැකුළු සහල්, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල්වල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක බවයි සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

658d469da761c

අධිවේගී මාර්ගවල ආදායමේ ඉහළ යාමක්

අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

එසේම 23 වැනි දා වාහන 145,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන අතර එය මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල 50% ක ඉන්ධන තොග පවත්වාගත යුතු බවට දැනුම්දීමක්

උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ.

සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 787 ක ණය ආධාර

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337 ක් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් හා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා.

හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි. ඉන්දියන් බිත්තරය සතොස විසින් අවභාවිතා කරමින් විකුණයි.

බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෙළඳපොලේ ඉල්ලුම වැඩිවීමත් සමග ඇතිවූ වෙළඳපොළ උච්චාවචනයයි. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තම ලාභ අසීමාන්තික ලෙස ලබා ගනිමින් පාරිභෝගිකයන් සූරා කෑම මෙලෙස විශාල ලෙස මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. නිෂ්පාදන වියදම සමග සැසදීමේදී දිනකට ලක්ෂ 100ක පමණ විශාල ලාභයක් මොවුන් උපයමින් සිටී. වෙළඳ සංගමය ලෙස ඔවුන්ට සිදුවී ඇත්තේ ඔවුන් දෙන මිලට තවත් රුපියල් දෙකක් තුනක් අතර මුදලක් එක් කරමින් පාරිභෝගිකයාට ලබාදීමයි. නිෂ්පාදන වියදම මේ වන විට බිත්තරයක රුපියල් දහ අටත් විස්සක් අතර මුදලක් වන අතර නමුත් පාරිභෝගිකයාට ලබා නොදීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය උත්සාහ දරන්නේ නැත. සත්ව කෑම මිල ඉහළම ගිය අවධියේදී පවා බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් විසි අටක් පමණ වන බවත් එය පෙර සිටම තම සංගමය ප්‍රකාශ කළ බවත් වර්තමානයේදී බිත්තරයක් රුපියල් තිස්පහට ලබාදීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. හෙට සිට බිත්තර රුපියල් පනස් හතරක් වැනි මුදලකට ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ඉන්දියන් බිත්තර සතොස විසින් ඉතාමත් අක්‍රමික ලෙස වෙළඳපොලේ මාෆියාවට තවත් රුකුලක් වෙමින් කටයුතු කරමින් සිටී. සාමාන්‍ය පාරිභෝගිකයින්ට බිත්තර විස්සක් වැනි ප්‍රමාණයක් ලබාදී ඉතුරු කරගෙන රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයින්ට ඒවා ලබාදෙයි. එසේ ලබා දෙන්නේ ජනතා මුදලින් ගෙනා බිත්තර නැවත වෙළඳපොලේ රුපියල් හතළිහක් වැනි මුදලකට විකිණීමටයි. එමෙන්ම බේකරි නිෂ්පාදකයින්ට කියා දෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බවත් සුළුවෙල් කරන කිසිවකුට හෝ මෙම බිත්තර ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා

ආනයනික බිත්තර මිලියන 10 ක් අද වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10 ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අද (15) සිට දෙසැම්බර් 31 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩු කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, ආනයනික ටින් මාලු, දේශීය අල, කඩල ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ඇතුළත් නිවේදනය පහතින්.

657c1999bcc00

උත්සව සමය අවසන් වන තෙක් බිත්තර 55 ට අඩුවෙන් අලෙවි කරන්න බැහැ – නිෂ්පාදකයින්

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වන තෙක් බිත්තර රුපියල් 55ට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

බේකරි විසින් බිත්තර එක්රැස් කර ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් පවතින බිත්තර මිල අඩු කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ට දින තුනක කාලයක් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.