ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

මෙම අත්හිටුවීම පෙබරවාරි මස (15) වන දිනයේ සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති අතර PAN ASIA BANK විසින් මේ බව කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මහ බැංකුව විසින් බලපත්‍රයක් අත්හිටුවීම PAN ASIA BANK හි සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනු වලට බලපෑමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපොලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ.

බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළට – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මෙම සංචිත ප්‍රමාණයට චීන හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තේ පොහොර මිටියක මිල රුපියල් 8500කට අඩුකෙරේ

තේ සඳහා යොදන පොහොරවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, දැනට රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා මිලකට අලෙවි වන තේ පොහොර මිටියක මිල රුපියල් 8500/- ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

තේ පොහොර මිල වැඩි නිසා‍ වගා හිමියන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එම නිසා නෙලා ගන්නා දළු ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බදු අභියාචනා කාලය වසර 2 සිට මාස 6 දක්වා අඩු කිරීමට අවධානය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා  වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් ප්‍රකාශවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොමසාරිස් ජනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6ක් තුළ ලබාදිය යුතු අතර බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම බදු අභියාචනා කොමිෂන් සභාව ද මාස හයක් ඇතුළත සිය තීරණය ලබාදිය යුතු බවත් වෙනත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයට ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ONMAXDT පිරමිඩ වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක්ට වරෙන්තු

ONMAXDT (pvt) Ltd යන නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ඊයේ (11) වරෙන්තු නිකුත් කළා.

මෙම මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ONMAXDT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5 දෙනෙකු මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

මෙහිදී රුපියල් කෝටි 3000ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්, එම මුදල් මගින් සැකකරුවන් හෝටල්, ඉඩම්, වාහන ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ මිලදීගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පිරමීඩ මූල්‍ය වංචාවට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් ගොදුරු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

එසේම මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති පරිගණක, දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද අධිකරණය අවසර ලබාදුන්නා.

මෙරට ආර්ථිකය අධ්‍යයනය කිරීමට IMF නියෝජිත පිරිසක් අද ලංකාවට

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට (11) සිට ලබන 17 වැනිදා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින අතර, මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසු මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය එම කණ්ඩායම විසින් අධ්‍යයනය කරන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව 100 ක් දක්වා ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.

හෙට සිට ජංගම දුරකථන මිල 35% කින් ඉහළට

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්ලේන්ටි, කිරි තේ, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්ලේන්ටි, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බවයි සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.