BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි…..

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය.

මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.

මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

100kW මෝටර් රථ සඳහා අඩු රේගු බද්දක් අය කෙරෙන අතර, 150kW සඳහා වැඩි රේගු බද්දක් නිෂ්කාශනයේදී අය කෙරේ.

එමෙන්ම මෙම BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළවන පුවත සම්බන්ධයෙන් එම රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන John Keels CG Auto පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද වාහන 100 kW මාදිලි බව ජනතාවට සහතික කරන බවය.

එම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල අලෙවිවන වාහන මාදිලි බවද එම නිවේදනයේ සඳහන්.

එම සමාගම පෙන්වාදෙන්නේ මෙම වාහන motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුුරු කර ඇති බවත්, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් එය වැඩිදුරටත් සහතික කර ඇති බවය.

මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keels CG Auto පුද්ගලික සමාගම ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරන බව එම සමාගම පවසයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි.  තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය….

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබුණි.

මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අදාළ බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමේන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840ක් පමණක් බවය.

බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවය.

මෙහිදී කාරක සභා සාමාජිකයින් විමසා සිටියේ බලපත්‍ර අලුත් කිරීම් අඩුවීම සහ බීඩි නිෂ්පාදකයන් නීතිවිරෝධී වෙළෙඳපොළවල් වෙත ආකර්ෂණයවීම බදු බර වැඩිවීමේ ප්‍රතිඵලයක්ද යන්නයි.

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීතිවිරෝධී තත්ත්වයට යොමුවිය හැකි බවට වන ආර්ථික මූලධර්මය හුවා දක්වමින් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යානුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකි අතර එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවය.

ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී අනාගත බදු ගැලපීම් සඳහා ඒවායේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමට අදාළ විද්‍යාත්මක සාක්ෂි මත තීරණ ගන්නා ලෙස කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය‘ ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද අතර, මෙය දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

“දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, චෙන්නායි හා බෙංගලූරු වැනි ප්‍රධාන නගර අතර මෙන්ම Tier-2 කාණ්ඩයේ උප ප්‍රධාන නගර අතර සතියකට ගුවන් ගමන් වාර 90 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ඉන්දියාවේ තිරුචිරපල්ලි වෙතද ශ්‍රීලංකන් ගුවන් සේවය සතියකට වාර 8 ක් පියාසර කරන අතර, එම නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මදුරෙයි වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද, හයිද්‍රාබාද් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 4 ක්ද ක්‍රියාත්මක කරයි. තවද කේරළයේ කොචි නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා දිනපතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වේ. මේ නිසා ඉන්දියාවේ ප්‍රධාන නගර මෙන්ම උප ප්‍රධාන නගර වෙත පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින් ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නොයෙක් වර ඇගයීමට ලක් වී ඇත.

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රට වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් පහෙන් එකක්ම ඉන්දියානු ජාතිකයන් ලෙස සැලකේ. මේ අතරින් විශේෂයෙන්ම චෙන්නායි, බෙංගලූරු, දිල්ලි සහ මුම්බායි වැනි නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුතතම තේරීම බවට පත් වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. මේ නිසා ඉන්දියාව ශ්‍රීලංකන් ගුවන් සේවයට වාණිජ හා සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වෙළඳපොළක් බවට පත් වී ඇත.

දකුණු ආසියාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා Wide-body සහ Narrow-body යන කාණ්ඩ දෙකටම අයත් ගුවන් යානා භාවිතා වේ. මෙම ගුවන් යානාවල Business Class සහ Economy Class ආසන ඇතුළත්ය. මෙම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්මානනීය ශ්‍රී ලාංකික ආහාරපාන එකතුව ඇතුළුව විවිධ සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන රස විඳීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව ඉන්දියාව ඉලක්ක කරගෙන සැලසුම් කළ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ක්‍රියාවට නංවා ඇත. රාමායණයේ සඳහන් ස්ථාන ආවරණය වන පරිදි සැලසුම් කර ක්‍රියාවට නැංවූ අතිසාර්ථක Ramayana Trail වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. තවද ඉන්දියාව වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ විශේෂ දීමනා රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් හඳුන්වා දී තිබේ.

මීට අමතරව ව්‍යාපාරික රැස්වීම්, උත්සව හා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් පැමිණෙන MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරකයන් සහ, ශ්‍රී ලංකාවේදී තම විවාහ මංගලෝත්සව පැවැත්වීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන් විශේෂ විසඳුම් හා සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

මාලදිවයින් ආයෝජකයින්ට ජනපතිගෙන් ආරාධනාවක්

මාලදිවයින් ආයෝජකයින් සඳහා සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාලදිවයිනේ තෙදින රාජ්‍ය සංචාරයකට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පැවසීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයින් තවදුරටත් දිරි ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිළිබඳව තමා මාලදිවයින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.

තවද මාලදිවයිනේ ව්‍යාපාරිකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ආයෝජනය කරන ලෙස තමන් ආරාධනා කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා පැවසීය.

මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය

“ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා!

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී මාලදිවයින වෙත කෙරෙන මගේ සංචාරය අමතර වැදගත්කමක් උසුලනවා.

මට සහ මගේ නියෝජිත පිරිසට ලැබුණු ආරාධනය සහ උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට මාගේ අවංක කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන සබඳතා පවත්වාගෙන යනවා. ඉන්දියානු සාගරයේ පිහිටි අපගේ රටවල් දෙක, පුරාණ සාමුද්‍රීය වෙළෙඳ මාර්ග සහ පොදු ඉතිහාසයක් සමඟ ඇති අපගේ සම්බන්ධතාවලින් පොහොසත් වී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර, ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් හා එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් කළ අතර අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

සෑම විටම ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ථිරසාර සහයෝගය වෙනුවෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට සහ මාලදිවයින් රජයට ස්තුතිවන්ත වනවා.

අපගේ ජනතාවගේ පොදු යහපත පිණිස අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ අපගේ සම්බන්ධතාව විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා හඳුනාගත්තා. ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තූතිවන්ත වනවා. 

මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබා දෙන දායකත්වය අප අගය කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් හවුල්කාරිත්වයක් තිබෙනවා. වසර ගණනාවක් පුරා මාලදිවයින් සිසුන්ට සහ වෘත්තිකයන්ට අධ්‍යාපනය ලබාදීමේදී අප ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් සහයෝගීතාව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළා.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන කෙරෙහිද අප අවධානය යොමු කළා.

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව මා ප්‍රකාශ කරනවා. 

ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රණය සහ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම පිළිබඳව මා ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණික උද්‍යාන පිළිබඳවද මා එතුමාට විස්තර කළා. ඒවා ආයෝජකයන්ට හිතකර සහ නිෂ්පාදන-විශේෂිත කාර්මික කලාප වන අතර, මාලදිවයින් ආයෝජකයන්ට එම කලාපවල ආයෝජනය කිරීමට කටයුතු කළ හැකියි.

තවද, මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ/කෘත්‍රිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක හා විවේක, දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් යනාදි අංශවල ආයෝජනය කරන ලෙසට මා ආරාධනා කළා.

සංචාරක ව්‍යාපාරය අපේ රටවල් දෙකේම ප්‍රධාන ආර්ථික සාධකයක්. මෙම පසුබිම තුළ, සංචාරක අංශයේ සහයෝගීතාව පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම ගුවන් සම්බන්ධතාව වැඩි දියුණු කිරීමෙහිලා ගුවන් සේවා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ගද අප සාකච්ඡා කළා.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ බලගැන්වීම සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අප අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන් ලෙස, ධීවර හා සාගර අංශයේ ඇති විශාල විභවය අප හඳුනා ගත්තා. නව්‍ය හා තිරසර ධීවර පිළිවෙත්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. මාලදිවයින් මුහුදු සීමාව ඔස්සේ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවලට බාධාවකින් තොරව අරාබි මුහුදට ප්‍රවේශ වීම සඳහා සංක්‍රමණ මාර්ග ඇතිකර ගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පරිසරය ආරක්ෂා කරගැනීමට දැඩි ලෙස කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සහ සමස්ත ශ්‍රී ලාංකික සමාජය තිරසර ලෙස ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සමාජ සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන ප්‍රධාන අංග තුන හරහා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මගේ රජය විසින් ආරම්භ කර තිබෙනවා. 

මා ඒ පිළිබඳව ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ‘Maldives Clean Environment’ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ප්‍රශංසා කළා. 

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා දැරිය යුතු පොදු උත්සාහයන්වල වැදගත්කම අප හඳුනාගත්තා. 2030 වසර වන විට සිය විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ අරමුණින්, අප දෙරට අතර පුනර්ජනනීය බලශක්ති අංශයේ ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට මා යෝජනා කළා.

ආරක්ෂක, ආරක්ෂණ සහ ත්‍රස්ත විරෝධී යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ශක්තිමත් සංස්කෘතික බැඳීම් තිබෙනවා. අපගේ භාෂාවල කැපී පෙනෙන සමානකම් ඇති අතර, සිංහල සහ දිවෙහි යන භාෂා දෙකම එකම මූලයකින් උපන් භාෂා. පුද්ගල-පුද්ගල සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අපගේ සාකච්ඡා සංස්කෘතිය හා උරුමය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍රය තුළ, මාලදිවයින ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මා අගය කළ අතර, මාලදිවයිනට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා. අපගේ රටවල් දෙකම විවිධ ජාත්‍යන්තර සංවිධානවල නිරන්තරයෙන් එකිනෙකාට සහය දක්වා තිබෙනවා. එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අප කැපවී සිටිනවා.

දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට මා අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට ආරාධනාවක්ද කළා.

මාගේ සංචාරය අතරතුරදී මා ව්‍යාපාරික සංසදයක් ඇමතීමටද මාලදිවයිනේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතයි.

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, මට සහ මගේ දූත පිරිසට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරවලට නැවත වරක් ඔබටතුමාට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මාලදිවයින සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව මා යළිත් කියා සිටිනවා. ඉදිරි වසරවලදී එම සහයෝගය තවදුරටත් ශක්තිමත් වන බව නිසැකයි.”

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාස​යේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කළා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 260 කට වඩා ඉහළ යාමකින් පසු ඒකක 18,016.35ක් ලෙස සටහන් වී තිබුණා.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය අද (03) දිනයේදී වාර්තා කළා.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වී ඇති අතර, මීට පෙර ඉහළම අගය ලෙස සටහන් වී ඇත්තේ 2025 පෙබරවාරි 18 දින වාර්තා වූ ඒකක 17,193.8 ක අගයයි.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර, රුපියල් බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසා දැමුණු NEXT ඇඟලුම්හල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, එසේ වසා දැමීමට තීරණය කළ යුත්තේ සේවකයන්ට පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බව වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී අවධාරණය කර තිබෙනවා.

අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවට පාලනාධිකාරය සඳහන් කර ඇති අතර, මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් අකැමැත්තෙන් වුවද කටුනායක පිහිටි තම කර්මාන්ත ශාලාව පමණක් වසා දැමීමට සිදුවූ බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, මෙමගින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයින්ට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි කර, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා විහිදෙන කිලෝමීටර 7.4ක පමණ දුරකින් යුත් කොළඹ සමුද්‍රීය මාර්ගය (Marine Drive) සංවර්ධනය කිරීමට නියමිතයි.

එහිදී ගාලු මුවදොර කෙළවරේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා වූ මීටර 400ක පමණ කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

2024 වසරේදී ලංකා බැංකුවේ ලාභය රුපියල් බිලියන 106ක් ඉක්මවයි

ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකර තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන අය විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස, ලංකා බැංකුව විසින් 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images