බේරේ වැවට නුදුරේදීම ජල ගුවන්තොටුපළක්…..

කොළඹ බේරේ වැව ආශ්‍රීතව ඉතාමත් නුදුරේදීම ජල ගුවන්තොටුපළක් (Water Aerodrome) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගනය) රංගන සමන්ප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටයේ අද (14) දින විකාශ්‍ය වූ දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි.

මේ වන විටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ජලාශ ආශ්‍රිත ගුවන් පථ 22ක් පමණ අනුමත කර ඇති බව ද ඔහු පවසා සිටියේ ය.

තව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේ පෞද්ගලික ආයතනයක් වන Cinnamon Air ආයතනය විසින් මෙහෙයුම් සක්‍රීයව කරන එබදු ස්ථාන 7ක් මේ වන විටත් පවත්වාගෙන යන බවයි.

“ජලාශ ආශ්‍රිතව ගුවන් පථ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් 22ක් පමණ අනුමත කරලා තියනවා. ඒකෙන් දැනට පෞද්ගලික ආයතනයක් වන Cinnamon Air එක විසින් මෙහෙයුම් සක්‍රීයව කරන එබදු ස්ථාන 7ක් පවත්වාගෙන යනවා. මේ ඉතාම නුදුරේදී බෙරේ ලේක් එකේ ඒ වගේ Water Aerodrome එකක් අපි operate කරනවා. ඉතාම මෑතකදී.”

ADA DERANA

PickMe සහායෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 7 ඉක්මවයි…..

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (14) දිනයේ දී වාර්තා වුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 46.83කින් පහළ ගොස් ඒකක 19,928.67ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 35.06කින් පහළ ගොස් ඒකක 5,780.58ක් ලෙසින් වාර්තා විය.

මිල දර්ශකවල පහළ යාමට හේලීස්, සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, කාර්ගිල්ස් සහ NDB යන සමාගම්වල කොටස් මිල පහළ යාම් ප්‍රධාන වශයෙන් බලපාන ලදී. ඒ ඇතුළුව සමාගම් 123ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබේ.

මිල ඉහළ ගිය සමාගම් සංඛ්‍යාව 98ක් ලෙසින් වාර්තා වන අතර PickMe සහ Co-operative Insurance Company PLC සමාගම් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්විය.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7 සීමාව ඉක්මවූ අතර එය රු. බිලියන 7.08ක් ලෙසින් සටහන්ව තිබුණි.

එහිදී කැපීපෙනුනු කාරණය වූයේ DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC හෙවත් PickMe සමාගමේ හි කොටස් ගනුදෙනුවල ඉහළ සක්‍රීයභාවයක් දක්නට ලැබීමයි. අද දිනය PickMe කොටස් මිල 16.31% කින් ඉහළ ගොස් තිබුණු අතර දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දෙමින් රු. බිලියන 1.4ක වටිනාකමකින් යුතු කොටස් හුවමාරු වී තිබුණි. එහිදී සාමාන්‍ය ගනුදෙනු හරහා රු. මිලියන 932ක හා ගිවිසාගනු ලැබූ ගනුදෙනු හරහා රු. මිලියන 452ක වටිනාකමකින් යුතු PickMe කොටස් දින තුළ ගනුදෙනු වී ඇත.

සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය….

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 12 වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමතිය ලබා දී ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු වේ.

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්….

2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවය.

ඒ අනුව මෙහිදී පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුකර තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය, කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කර්මාන්ත අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස්  බැංකුවේ (MSB)   සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි.

 ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

 ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළහ. එසේම පුනර්ජනනීය බලශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට  බලාපොරොත්තු වන බවද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.

 ඊට අදාළ කටයුතු සඳහා භූමිය හඳුනා ගැනීම සහ අවශ්‍ය ආයතනික සහාය ලබා ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ නිරත වන බව ඔවුහු සඳහන් කළහ.

 මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර  පරිසරයක් නිර්මාණය කර ඇති බැවින් ආයෝජන සඳහා ආයතනික මට්ටමින් ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට රජය සූදානම් බවයි.

 ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ වඩාත් සතුටට පත්වන බවත්, මෙරට තුළ මහා පරිමාණ අයෝජනයන්ට සූදානම් බවත් රොක්ස් සමූහයේ ප්‍රධානී ඇතුළු නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

 රොක්ස් (ROX) සමූහයේ සභාපති ගුයෙන් ති ගුයෙට් හුවොං (Nguyen Thi Nguyet Huong) , ප්‍රධාන නිලධාරී ( බලශක්ති අංශය) ලූ ලෙ චි ( Luu Le Chi) යන මහත්ම මහත්මීහුද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

දෙස් විදෙස් සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව…

ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම සැබෑ ලෙස විඳගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුනත් තවමත් එහි වැඩ අවසන්ව නොමැත.

ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි.

විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.

ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.

නමුත් ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බව දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානය පැමිණෙන බව වාර්තා වේ.

ADA DERANA

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්….

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර  පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දී ඇත.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එහි අගය 286,085කි.

එමෙන්ම මෙම වසරේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියාවෙන් 116,257 ක්ද මෙරට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අගොස්තු 01 වැනි දින සිට 05 වැනි දින දක්වා  සංචාරකයින් 40,047 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එහි අගය  6,963ක් වේ.

එමෙන්ම එක්සත් ජනපදයෙන් 4,345ක් සහ චීනයෙන් 3,090ක් ද ප්‍රංශයෙන් 3,049 සහ ඉතාලියෙන් 2,739ක්ද පැමිණ තිබේ.

විදෙස් සංචිතය සියයට 1කින් ඉහළට….

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

රේගු භාරයේ තිබූ BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක්…

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.

ඉදිරිපත් වූ කොන්දේසිවලින් කිහිපයකට පෙත්සම්කාර පාර්ශවය එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව මෙම වාහන මුදා හැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට සිය එකඟතාවය පළ කළේය.