ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය….

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පසුගියදා (19) වනදා රැස්වූ මුදල් කාරක සභාවේ දී ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා 19 වනදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වැඩබලන විගණකාධිපති ජී.එච්.කේ ධර්මපාල මහතා ඇතුළු ජාතික විගණන කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි..

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති හා රාජ්‍ය ව්‍යාපාර ඇතුළු ආයතන 2000කට ආසන්න ප්‍රමාණයක් විගණනය කිරීම සිදු කරන විගණන කාර්යාලයේ සේවක හිගය, නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

වරලත් ගණකාධිකාරී මට්ටමේ උසස් නිලධාරීන් 35ක් පමණක් ජාතික විගණන කාර්යාලයේ දැනට සේවය කරන බවත් වත්මන් වැටුප් තල හමුවේ ගණකාධිකරණ උසස් විභාග සමත් නිලධාරීන් රඳවාගැනීමේ ගැටලුවක් ඇතිබවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

මීට අමතරව ජාතික විගණන කාර්යාලය යටතේ පළාත් මට්ටමින් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂණික අංග යොදා ගෙන අවම සේවක ප්‍රමාණයකින් කාර්යක්ෂමතාව වැඩිකිරීමේ හැකියාව යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්ඡි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

සංස්ථා ලුණු මිල පහළ යයි…..

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ.

එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 100ක මිලකට ද කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 මිලකට සහ කිලෝග්‍රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150ක වැනි මිලකට ලබන සතියේ සිට අලෙවි වනු ඇත.

මේ අතර සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 90ක වැනි මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට මහලේවායේ, බුන්දල ලේවායේ සහ පලටුපාන ලේවායේ ලුණු අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බැවින් ජනාතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය.

විදෙස් සංචාරකයින් 1,338ක් ගුවන්තොටේ දී රියදුරු බලපත්‍ර අරන්…..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි.

මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය.

පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරන බව ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි නියෝජිත අමිල කෝරලගේ මහතා පැවසුවේ, මේ හේතුවෙන් එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

අලිමංකඩ උතුර ලුණු ලේවාය නැවත වැඩ අරඹයි….

උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් අලිමංකඩ උතුර ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පොහොර සහනාධාරයටත් QR එයි….

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේ අවශ්‍යතාව මතුව ඇතැයි රජය පවසයි.

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.

ඒ අනුව පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබාදීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් ජනාධිපතිවරයා, කෘෂිකර්ම, පශු සම්පත්  ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

EV පරදා Hybrid වාහන ඉල්ලුම ඉහළට…..

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි.

මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ.

2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ.

එහිදී බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින්ය.

චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය වෙළෙඳපොළය.

එහිදී යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටීමද විශේෂත්වයකි.

චීන EV නැත්නම් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මේ විදියට වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරීව තිබියදීය.

වාර්ෂිකව විද්‍යුත් වාහන මිලියන 11ක් පමණ එ නම් ගෝලීය EV වෙළෙඳපොළෙන් අඩක් පමණ නිපදවන චීනයේ මෙම ප්‍රවණතාව ලබාදෙන පණිවිඩයක් තිබේ.

එහෙත් ලෝකය තවමත් ඉන්ධන දහන එන්ජින් මුළුමනින්ම අතහැර දැමීමට සූදානම් නැත.

‘ප්ලග් ඉන් – Hybrid’ නැත්නම් මේ දෙමුහුම් රථවලින් සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා 30%කින් අඩු වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන තිබේ.

එහෙත් මේ Hybrid වාහන භාවිතය වුවත් ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය ශුන්‍ය කිරීම සඳහා වූ ඉලක්කය වසර ගණනක් ඈතට රැගෙන යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කළේය.

කෙසේ නමුත් මේ Hybrid වාහන සඳහා වූ ඉල්ලුම ඉහළ යාම තවත් වසර 03ක් හෝ 05ක් පමණ පවතිනු ඇති බවත් නැවතත් පූර්ණ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන ඉදිරියට පැමිණෙනු ඇති බවත් මෝටර් රථ කර්මාන්තයේ විශේෂඥයින් පවසයි.

දිගුකාලීනව වායු දූෂණය ශුන්‍ය වාහන සඳහා ප්‍රවණතාව තවදුරටත් පවතින බව ඔවුන්ගේ අදහස වෙයි.

එමෙන්ම ඇතැම් චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන් හයිබ්‍රිඩ් වෙත යොමු නොවී අඛණ්ඩව විද්‍යුත් වාහන නිෂ්පාදනයේ නිරත වන බව වාර්තා වෙයි.

ADA DERANA

gem city ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් පිරෙයි…..

කෝටි ගණනින් මැණික් ගන්න කෝටි ගණන් වාහනවලින් පැමිණි දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් gem city ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය තිබෙන ග්‍රෑන්ඩ් සිල්වර්රේ හෝටල් පරිශ්‍රය පිරී යයි

වසරකට වතාවක් දැකගත හැකි ඇස් නිලංකාර වන නිල් මැණික්

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය, ප්‍රදර්ශන කුටි අසූවකට අධික සංඛ්‍යාවකින් සමන්විත වනවා
රත්නපුරේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරයකින්ගේ කුටි රැසක් තිබෙන අතර ලංකාවේ තවත් ප්‍රදේශවල ව්‍යාපාරිකයෙක්ගේ කුටි ද තිබෙනවා මෙවර විදේශික ව්‍යාපාරිකයින්ගේ වෙළෙඳ කුටි දැකගැනීමට නොමැත

මෙම වෙළඳ කුටි අතර මැණික් වලට අගය එකතු කළ ඉතා අලංකාර රන් රිදී ස්වර්ණාභරණ වෙළඳ කුටිද තිබෙන අතර ඒවාටද හොඳ ඉල්ලුමක් පවතිනවා

මෙහි බහුතරයක් කුටිවල තිබෙන්නේ රත්නපුර මහපොළොවෙන් හමුවුණු සියලුම මැණික් කුලයන්ට අයත් ලක්ෂ ගණන් කෝටි ගණන් වටිනා කපා ඔප දැමූ මැණික් වන අතර
මින් නිල් මැණික් විශේෂයි.
විදේශීය කෝටිපති ගැනුම්කරුවන් නොයෙක් රටවලින් පැමිණ තිබෙන අතර
මින් සමහරුන් අලෙවි කුටිවල තබා තිබෙන මෙම නිල් මැණික් ලැබෙන පතල් දැක ගැනීමටද ගිය අයුරු දැක ගත හැකි විය මේ සඳහා රත්නපුර මැණික් හා අධිකාරියේ නිලධාරීන්ගේ සහාය ලබා දෙනවා

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වනවා

ප්‍රදර්ශනය 17 වනදා යින් අවසන් වනවා..

රත්නපුර – ගයාන් කුඩාගම

ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙදපොළට නිකුත් කිරීමේ මූලික පියවර ආරම්භ කෙරේ….

ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී අද (18) දින සිදු කෙරිණි.

ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී…..

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,500,656ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 132,368 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රුසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

පළමු මාස හය තුළ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා මෙහෙයුම් ලාභයේ වර්ධනයක්…..

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභයේ 78%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ මෙම වර්ධනය පෙන්නුම් කර ඇති බවය.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය ලෙස රුපියල් මිලියන 9,049ක් සටහන් වී ඇති අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් 16,133ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම පසුගිය 2024 වසරට සාපේක්ෂව  2025 වසරේ ගුවන්ගමන් වාර 16%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල 17%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර දේශීය ගුවන්ගමන් වාරවලද 10%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල වැඩිම අගය පසුගිය මාර්තු මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 22%ක වර්ධනයක් වන බවය.

තවද දේශීය ගුවන්ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව 38%ක වර්ධනයකි.