සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය…..

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.

පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට කාර්යසාධක බළකායක්….

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.

ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්  කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලබන වසරේ දී රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු Online ක්‍රමයට – ජනපති…

ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ  සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.

තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇති බව සඳහන් කළේය.

රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත්, ලොව දියුණු වූ සෑම රටකම දියුණුව පිටුපස ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර, යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා  jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති.

යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2025අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

ඊ-පුස්තකාල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළ ජනාධිපතිවරයා එහි කියවීමේ ශාලාව සහ පොත් බැහැර දෙන අංශයේ නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, යාපනය නාගරික මහ කොමසාරිස්, යාපනය පුස්තකාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අගෝස්තුවේ සංචාරකයින් 198,235ක් මෙරටට ඇවිත්….

අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර එය 23.4% කි.

තවද, එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523කි.

ඒ අතරින් සංචාරකයින් 325,595ක් ඉන්දියාවෙන්, 118,916ක් රුසියාවෙන් සහ 151,141ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

රතු එළි දැල්වෙන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව…..

පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තුළ වාර්ෂික උක් දඬු මෙට්‍ර්ක් ටොන් 250,000ක් පමණ අඹරනු ලබයි.

ඒ ඔස්සේ සීනි මෙට්‍ර්ක් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර ඉන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප්‍රමාණය ලීටර් ලක්ෂ 50කට ආසන්න වේ.

සෙවනගල සීනි කර්මාන්තශාලාව තුළ සේවකයින් 1,300ක් පමණ සේවය කරන අතර ගොවි පවුල් 10,000ක් පමණ සෘජුව සහ වක්‍රව මෙම කර්මාන්ත ශාලාව ඔස්සේ සිය ජීවිකාව පවත්වාගෙන යයි.

මෙවැනි පසුබිමක සීමාසහිත ලංකා සීනි සමාගම තුළ වර්තමානය වනවිට උද්ගතවී ඇති ගැටලු රැසක් සෙවනගල කර්මාන්ත ශාලාවේ හෙට දවස කෙරෙහිද රතු එළි දල්වා තිබේ.

දේශිය දුඹුරු සීනි සඳහා පවත්නා ඉල්ලුම දිනෙන් දින පහළ බැසීම හේතුවෙන් සෙවනගල කර්මාන්ත ශාලාවේ ගබඩා තුළද අලෙවි කරගැනීමට නොහැකිවූ සීනි මෙට්‍ර්ක් ටොන් 2,000ක් පමණ ගොඩගැසී තිබේ.

එසේම වත්මන් පරිපාලනයේ දුර්වල කළමණාකරණය නිසාම මෙතෙක් දෛනිකව අඹරනු ලැබූ උක්දඬු ප්‍රමාණය වූ මෙට්‍ර්ක් ටොන් 1,300ක ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 850 පමණ දක්වා පහළ ගොස් ඇත.

කර්මාන්ත ශාලාවේ උක් දඬු කපන කටර් 2න් එකක් කෑඩියාම ඊට හේතුව බව ගොවින් පවසයි.

දෛනිකව අඹරන උක්දඬු ප්‍රමාණය අඩුවීමත් සමඟ කර්මාන්තශාලා පරිපාලනය විසින් තම උක් අස්වැන්න භාරගැනීමද සීමාකර ඇති බව ගොවින් පවසයි.

කර්මාන්තශාලාව උක් දඬු ලබාගැනීම සීමා කිරීමත් සමඟ සිය උක් අස්වනු ගොවි බිම් තුළම ගිනිගෙන විනාශ වෙමින් පවතින බවත්, එලෙස ගින්නෙන් පිළිස්සෙන උක් දඬු භාරගැනීමද මේ වනවිට සෙවනගල සීනි කර්මාන්තශාලා පරිපාලනය නවතා දමා ඇති බවටත් ගොවින් චෝදනා කරයි.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගොවින් පමණක් නොව උක් කර්මාන්තය ආශ්‍රීතව සිය ජීවිකාව පවත්වාගෙන යන උක් දඬු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ රියදුරන්ද දැඩි ආර්ථික අපහසුතාවටකට මුහුණ දී සිටියි.

ADA DERANA

ඉන්ධන මිල සංශෝධනය වෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.

ඒ  අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්…..

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය  අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

“බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ගෙන්වනවා. එතකොට ක්ෂේත්‍රවල යන නිලධාරීන්ට පහසුවෙන් යන්න පුළුවන්කම තිබෙයි. ඊළඟට පළාත් පාලන අයාතනවල වැඩ ටික ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන කොට බෑකෝ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර ඕනේ. ඒ නිසා අපි දැනටමත් මුදල් වෙන්කරලා තිබුණා මේ අවුරුද්දේ සැලකිය යුතු ප්‍රමාණයක් ගේනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මූලික දේවල් ටික ලබාගන්න.  එතකොට අපි හිතනවා රටේ සංවර්ධන කටයුතු ටික වේගයෙන් බිම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.” 

මේ අතර අක්‍රීයව පැවති පලාත් පාලන ආයතනවල කටයුතු සක්‍රීය කරමින් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.

ඔහු පවසන්නේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ද විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවය.

ජනපති මන්දිර සංචාරක නිකේතන කිරීමට ජනපතිගෙන් ව්‍යාපාරිකයින්ට ඇරයුම්……

සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයින්ට ආරාධනා කරයි.

ජනාධිපති කාර්යාලයේ පැවති පූර්ව අයවැය සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුනි.

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ද ප්‍රකාශ කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී දැනට පවතින අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරිකයන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ අතර, සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනා ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරිකයන්ට ඇරයුම් කර සිටියේය.

අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා – ජනපති….

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාළ  ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, අපනයන, බදු සහන, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත පවත්වාගෙන යාමේදී බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ගුණාත්මක, කෘෂි සහ ආහාරපාන නිෂ්පාදන අඛණ්ඩව පාරිභෝගිකයා වෙත ලබා දීම පිළිබඳව මෙන්ම එම කර්මාන්තයට අදාළ කටයුතුවලදී ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට අදාළ ඔවුන්ගේ අදහස් හා යෝජනාද සාකච්ඡාවට ලක්විය.

සෑම නිෂ්පාදනයකම මිල තීරණය කරනුයේ නිෂ්පාදකයා වන නමුත් කෘෂි නිෂ්පාදනවලදී පමණක් ගැනුම්කරුවන් විසින් මිල තීරණය කිරීමට කෘෂි ක්ෂේත්‍රයේ අසංවිධිත බව  හේතු වී ඇති බවත්, නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා වීමේදී විධිමත්භාවයක් දක්නට නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ගැටලු විසඳා ගැනීමට රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

කෘෂි භෝග, කිරි හා සත්ත්ව නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීමට පෞද්ගලික අංශයේ පූර්ණ සහය ලබාගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේ කාර්යභාරය ව්‍යවසායකයන්ට පැවරී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන්  රජයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

තවද, පශු සම්පත් ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් එහි ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පශු සම්පත්  කර්මාන්ත නගා සිටුවීම සහ නිෂ්පාදන බෙදාහැරීම විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ද, කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද මීට එක්ව සිටියහ.