ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය 2024.01.22 වන දින ආරම්භ කරන ලදී.

ඒ අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125 ක් හදුනාගෙන එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී ඇත.

2023 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු​ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර ඇති බවයි සඳහන් වන්නේ.

2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය 4.2% ක් ලෙස සටහන්ව ඇති අතර එය 2023 වසරේ නොවැම්බර් මාසයේදී සටහන්වී තිබුණේ 2.8% ක් ලෙසයි

මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ -2.2% ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්.

65ae445850b44pdf_page_4

Online ක්‍රමයට දඩ ගෙවීමට නව ක්‍රමවේද​යක් ළඟදීම හඳුන්වා දෙනවා – වැඩබලන පොලිස්පති

Online ක්‍රමය ඔස්සේ ස්ථානීය දඩ පත්‍රිකාවලට අදාළව දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නුදුරේදීම හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අද (22) පැවති උත්සවයක් අමතමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙම ක්‍රමය හරහා රථ වාහන වරද සම්බන්ධයෙන් දඩය පනවන පොලිස් නිලධාරියා හරහා ඇති උපකරණයෙන් හෝ තමාගේ ජංගම දුරථකථනයෙන් දඩ මුදල ගෙවීමට හැකි වන බවත්, මේ හරහා අදාළ ප්‍රදේශයටම ගොස් දඩ මුදල ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 270gක්, අයිස් 140gක්, ගංජා 18kgයි 358gක්, ගංජා පැළ 27,242ක්, මත්පෙති 1,080ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කැලණිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද (21) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

දුරුතු මහා පෙරහැරට සමගාමීව අද පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවදූත පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් නුංගංගොඩ දක්වා එම පෙරහැර වීදි සංචාරය කර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.

වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළට

ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතාවකට සහභාගිවීමේ චෝදනාව මත තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස වැඩ තහනම් කරන ලද සියලු සේවකයින් මුදල් අයකැමිවරුන් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

මීට පෙර මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබූ අතර මේ වනවිට වැඩ තහනම් කළ මුලු සේවක සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුමකින් විෂ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට දකුණු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් අතර, එම යාත්‍රාවල සිටි පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රා ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද හා හෙට

සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද (20) සහ හෙට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම එන්නත් වැඩසටහන වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා ක්‍රියාත්මක බව බවයි සඳහන් වන්නේ.

සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා එන්නත ලබා ගැනිමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.