හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 92 වැනි වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන්වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගංවතුර නිසා ගොවිබිම් අක්කර 80,000 ක් හානිවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

2024/25 මහ කන්නයේ 2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වනවිටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්, ගොවි සංවිධානවල සහභාගිත්වයෙන් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන් පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් වී ඇති අතර එම දිස්ත්‍රික්කවලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකවල වගා හානි පරීක්ෂාව එළැඹෙන 29 වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට නියමිතයි.

2024 සංචාරකයින් පැමිණීම මිලියන 2 ඉක්මවයි

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සැපිරූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් ලෙස සටහන්ව තිබුණා.

අප්‍රේල් මාසයට පෙර පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක් හඳුන්වාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ්පත හඳුන්වාදීමට නියමිත අතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අසිරිමත් නත්තල අදයි

ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි.

බෙත්ලෙහෙමේදී උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වනවා.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජා ඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී පැවැත් වුණා.

පසුගිය රජය සමයේ වැඩතහනමට ලක් වූ ලංවිම සේවකයින් 62 ක් යළි සේවයේ පිහිටුවයි

 

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගි වී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 ක් වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ විශේෂ නියෝගයක් අනුව එය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට කටයුතු කර තිබුණා.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 80 වන වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ.

ආදරණීය නේරංජනා, හෙට දවසේ, මට වාසනා, සඳ මා ගාවයි, මාගේ සැමරුම් පොතේ, එකම වීදියේ, මොහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා සූරියසේන මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජනාධිපති අරමුදලේ අවභාවිතාවක් සිදුවී ඇත්දැයි සෙවීමට CIDයෙන් විමර්ශනයක්

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ විමර්ශනය සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බවයි වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් ඊයේ (23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බවය.

එලෙස අයදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය, සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර පසුගිය 11 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ ය‍ටතේ එම අයදුම්පත බාගත කිරීමට කර ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

තවද එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස 31 වන දින වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.