වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25 ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773b585e3459

අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට වන දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කෙරේ

අවදානමට ලක්වූ පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පාසල් අධ්‍යාපනය ලබන, අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් දීමනාවක් ලබාදීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එම ප්‍රතිපාදන පසුගිය 27 වනදා අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවද සඳහන්.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2025 වර්ෂයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67726d27e03a7

පසුගිය පැය 24 තුළ රථවාහන වැරදි කළ 7,676 කට නීතිමය ක්‍රියාමාර්ග

අද (30) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24ක කාලය තුල සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් 7,676 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසනවා.

ඒ අතර බීමත් රියදුරන් 413 දෙනෙකු සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරික්ෂාකාරී ලෙස සහ අන්තරාදායක ලෙස රිය ධාවනය කළ රියැදුරන් 49 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6772736d46aed

සහල් මෙට්‍රික්ටොන් 75,000 ක් ආනයනය කර නිෂ්කාශනය කර අවසන් – රේගුව

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බවයි සඳහන් වෙන්නේ.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගෙන තිබුණා.

ගුලි‍, ගංජා‍, අයිස් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 25 ක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.

සෝදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ වසර තුළ අලි මරණ 350 ක්

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් වන අතර එම සංඛ්‍යාව, 70 කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් ඇති අතර හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 ක් සහ දුම්රියේ ගැටී අලි සංඛ්‍යාව, 10 ක් ලෙස වාර්තාවී තිබෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ හට ලබන ජනවාරි 03 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කරනු ලැබුවා.

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පැය 04 ක කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි සඳහන් වන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණු අතර, ඔහු එම අවස්ථාවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් හා කුළුබඩු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

භාවිතා කරන ලද පොල්තෙල් පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම මිරිස් කුඩු, කරපිංචා, කහ ඇතුළු කුළුබඩු වර්ගයන් ද විවිධ ද්‍රව්‍ය කලවම් කර මහජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමීර මුතුකුඩ සඳහන් කළේ.

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රමිතින් සපුරාලීම සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙසැම්බර් 01 වැනිදා සිට වැටලීම් ආරම්භ කළ අතර, එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 5000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, වෙළෙඳසල් 450කට නඩු පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

උත්සව සමය තුළ කොළඹ නගරයේ කැළිකසළ එකතුවීම ඉහළට

උත්සව සමයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

දෛනිකව ටොන් 420ත් 450ත් අතර ප්‍රමාණයක කසළ ප්‍රමාණයක් එකතු වන බවත්, නමුත් මෙම මාසය අවසන් වනවිට එම ප්‍රමාණය වැඩිවිය හැකි බවයි කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ.

දෙසැම්බර් 31 වැනිදා වනවිට කොළඹ නගරයට පැමිණෙන අතිවිශාල ජන සංඛ්‍යාව නිසා ඉහත කසළ ප්‍රමාණය ටොන් 500ක් පමණ විය හැකි යැයි පුරෝකථනය කර ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුර‍ටත් පවසා සිටින්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද ආරම්භ කෙරේ

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බව එම කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු  කිරීමට නියමිත බවයි.