යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

වාර්තාකරණය – මංගල කරුණාතිලක

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යථාර්තයක් බවට පත්කිරීම සඳහා යුද හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පවසනවා.

නව හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබාගත්තා.

මෙරට 25 වන හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිතත් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා.

දළදා වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ක්‍රියා කළා.

WhatsApp Image 2025-01-04 at 16.25.38

අම්පාර දිස්ත්‍රික්කයේ වී මෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ

රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා.

මෙහිදී අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරුණු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම පරික්ෂා කිරීමේ කටයුතු සදහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදී

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

Quadrantids නමින් හැඳින්වෙන උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එහි උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00 ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ.

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින්, 2024 වසර තුළ සංචාරකයින් 2,053,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙස බවයි සඳහන් වෙන්නේ.

2023 වසර හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 07 කට ආසන්න, සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

677793b25e941 677793b247a6a

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඒකක 403.94 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරමින්, දිනය අවසානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් සියලු ඒකක 16,341 ක් ලෙස වාර්තා වී තිබුණා.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 12 සීමාව අභිබවා යාමද තවත් සුවිශේෂී සිදුවීමක් වෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුන​ට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 ට සියලුම දෙනාට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කර ගනිමින් අදාළ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරු මඬුල්ල සඳහන් කර තිබුණේ, විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුව තිබෙනවා – ජනපති

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවයි Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බවද නීතිය හා විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

දුෂණය හා වංචාව නතර කිරීමට රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන, ඒ සඳහා සහාය ලබාදිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගුවන් තොටුපළේ අතහැර දමා ගිය ගමන් මලු විකිණීම ගැන ප්‍රචාර අසත්‍යයි

නිල නොවන සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩවි හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස පෙනී සිටිමින් ගමන් මලු අලෙවි කිරීමේ ජාවාරම්වලට නොරැවටෙන ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගුවන් තොටුපළේ අතහැර දමාගිය ගමන් මලු විකිණීමට ලබාදීම පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම් වාර්තා වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

67750f81ad1a1

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කමිටුවක්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ අනුව දූෂණ විරෝධි පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළිබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773cccf8d296

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 79,000 ක් නිශ්කාෂණය කර අවසන් – රේගුව

අද (31) දින දහවල් 12.00 වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.