මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවක් අතර මොරටුව ප්‍රදේශයේදී බස් රථයක් මගීන් අතරමග බස්සවා ආපසු හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉන්දියාවෙන් HMPV වෛරසය ආසාදිත බිළිඳෙක් වාර්තා වෙයි

චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ් අනුව ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08 ක් වයසැති බිළිඳකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනහළු සහ ශ්වසන මාර්ගයට බලපාන ශ්වසන වෛරසයක් වන HMPV කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ වෛරසය එහි වර්තමාන ස්වරූපය අනුව දරුණු ආසාදන ඇති කිරීමට ඉඩක් නොමැති බවත්, එය කලබලයට පත්විය යුතු තත්ත්වයක් නොවන බවයි.

දෙමෝදර දී දුම්රියක් පීලි පනී

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව බදුල්ල – මහනුවර දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවෙයි

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබෙනවා.

ඒ් අනුව මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල් දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන සඳහන් කළා.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 08ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබෙනවා.

අනුරාධපුර මුලස්ථාන පොලීසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

SL vs NZ 1st ODI : නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 42 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක්, ජනිත් ලියනගේ ලකුණු 36 ක් හා වනිඳු හසරංග ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායායම වෙනුවෙන් Matt Henry කඩලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම 26 වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young නොදැවී ලකුණු 90 ක් ලබා ගැනීමට සමත් වුණා.

අතරමග නතරකර ඇති නිවාස යෝජනා ක්‍රම යළි ​ආරම්භ කිරීමට අවධානය

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු 8 වනදා යළි ආරම්භ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කෙරේ‍.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා.

ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වනවා‍.

මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී තිබෙනවා.

චීනයේ HMPV වෛරසය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නො​වේ – වෛද්‍ය චන්දිම ජීවන්දර

චීනයේ පැතිර යතැයි කියන ශ්වසන ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන ඉහළ යන බවත්, චීනයේද බොහෝ දුරට HMPV වෛරසය නිසා ශ්වසන ආසාදන ඉහළ ගොස් ඇති බවයි.

HMPV යනු නව වෛරසයක් නොවන බවද, එය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරවන බවද,  රෝග ලක්ෂණ දරුණු නම් හෝ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවන්නේ නම් මිස මහජනයා අතර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

HMPV නිසා ශ්වසන ආසාදනවල වැඩිවීමක් ඇති කරන නමුත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර තවදුරටත් සඳහන් කර ඇත්තේ‍.

සමහර සමාජ මාධ්‍ය සටහන් මගින් මෙය අර්බුදකාරී තත්ත්වයක් ලෙස හුවා දක්වා ඇති නමුත්, චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසා සිටින්නේ.

6778e9018f48b 6778e8fec387c

පාසැල් ආරම්භ​ය සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා‍‍.

වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා සඳහන් කළේ.

සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දෙනවා.