ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිමය රුපියල් 15 යි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් ඡන්ද දායකයෙකුට රුපියල් 15 ක ප්‍රමාණයක් වියදම් කළ හැකි බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

එම අගය ජනතාවගේ ප්‍රමාණයෙන් වැඩිකර ලැබෙන අගය එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි සීමාව බවත්, එයින් 60% ක ප්‍රමාණයක් පක්ෂයකට වියදම් කළ හැකි සීමාව බවත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළා.

මැතිවරණය අවසන්වී දින 21 ක් තුළ තරග කරන අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ සියලුම ආකාරයේ වියදම් ඇතුළත් කර විගණනය කරන ලද වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බවද, මුදල් සීමාවලින් ඔබ්බට වියදම් සිදුකර ඇති බවට ඔප්පු වුවහොත් අධිකරණය තුළදී අදාළ ධූරය අහිමිවීමට හැකියාවක් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

බාධාවකින් තොරව මැතිවරණය පැවැත්වීමට නියෝගයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 35 දෙනෙකු නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසර සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය හරහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම වෙත වෙන්කර දී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිය පෙත්සම මඟින් පෙන්වාදෙන්නේ.

තනතුරු කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස චිත්‍රාංගනී වාගීෂ්වර පත්කර ඇති අතර ඊශ්‍රායලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.එච්.එම්.එන්. බණ්ඩාර පත්කර තිබෙනවා.

එමෙන්ම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සී.පී. අතුලුවගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.ඒ.ජී. නාරගල පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

විදුලි බිල වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව පෙත්සමක්

ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම යනු ස්වාධීන කොමිසමක් හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ලබන 26 වනදා දක්වා රිමාන්ඩ්

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා.

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවට මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක්

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝක ප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ‍දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

4b554a1b3a472842b44c2f882d52fd6a

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ වු පසු වාණිජ සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි Reuters පුවත් සේවයට මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගතවන කාලසීමාව සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින බවත්, ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාවතට ප්‍රවේශ විය හැක්කේ ණය තිරසාර බව සහතික වීමෙන් පසුව බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිර දඬුවම්ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

00f2e79203644b3f0e7e1851ef77dbef

විදුලි ගාස්තු සංශෝධනය ගැන නීතිමය මතය විමසීම​ට PUCSL තීරණය කරයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.