දේශපාලන පක්ෂ නියෝජිතයන් අද මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් අද (24) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ට වන්දි

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) පැවති කැබිනට් හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කරුණු දැක්වීම හේතුවෙන් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත සිය විරෝධය පළ කරමින් කටයුතු කර තිබුණා.

තනි ආසනයකට ජනපති වෙන්න පුළුවන්නං, ආසන දෙක තුනකට හික්කඩුවේ නගරාධිපති වෙන්න පුළුවන් – වජිර

මෙම මැතිවරණ ව්‍යාපාරයේදී ජාතික එකඟතාවයක් වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ගමේ ජනතාවට නොබැන සියලු දෙනා එකතු කර ගත යුතු බවද, වෙනම ඡන්දය ඉල්ලා සිටියත් තනි ආසනයකින් ජනාධිපති විය හැකි වූවා නම්, ජාතික එකඟතාවයක් ඇත්නම් ආසන දෙක තුනකට හික්කඩුවේ නගරාධිපති විය හැකි බවද ඔහු පවසනවා.

මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

5f7dd75a488d72f852cfcf3f8d7997a0

වරාය සේවකයන් බදුවලට එරෙහිව දැඩි විරෝධතාවක

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය අද (23) කෑම පැයේදී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා වරාය සේවකයන් විශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

නිදහස් දින සැමරුමට එරෙහිව හිරුණිකා විරෝධතාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගාලුමුවදොර ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරතවී තිබෙනවා.

රටේ ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණ පා ඇති කාල සීමාවක, මිලියන 200ක් වියදම් කර මෙවර නිදහස් දිනය සැමරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන තිබෙන්නේ.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින මොහොතක මෙවැනි නිදහස් උත්වයක් සැමරීමට නොහැකි බවද, ජනතාවද මේ සඳහා විරෝධය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විභාග කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැක්කේ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා – විදුලි ඉංජිනේරු සංගමය

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වූයේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාල සීමාවන්හී දී ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

නැප්තා නොමැති වුවහොත් යළිත් කැළණිතිස්ස බලාගාරය නැවතිය හැකි බවත් විදුලිය ජනනය කිරීමට සිදුවන්නේ ඩීසල්වලින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දෙසැම්බර් මාසයේ උද්ධමනය සාපේක්ෂ අඩු වීමක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 65% ක් වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ 59.2% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම නොවැම්බර් මාසයේ 69.8% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා පහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විධායක නිලධාරීන්ගේ වැටුප දිනක් පමණ ප්‍රමාද විය හැකියි – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකි බවත්, විධායක නිලධාරීන්ගේ වැටුප එදිනම හෝ ඊට පසුදා ගෙවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්, ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිඟයක් ඇති බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළා.